මුග්ධ කරණවෑමියා.
අයෝධ්‍යා නගරය චූඩාමණි
යන නමින් හැඳින්වුණ ක්ෂත්‍රිය වංශිකයෙක් වාසය කළේය. ධනයට ආසාවෙන් පෙළුණු චූඩාමණි
රැයක් දවාලක් නැතිව ශිව දෙවියන්ට පූජෝපහාර කළේ තමන් මහා ධනවතකු බවට පත් කරන
ලෙස අයදිමින්. එම පූජාවන් නිසා පව් හීන වූ මොහුට ශිව දෙවියන් ගේ නියමයෙන් වෙසමුණි
රජු සිහිනෙන් අවුත් මෙසේ කීවේය:
“ඔබ අද උදෑසන ම හිස් රැවුල් බා මනා ලෙස ස්නානය කර, පොල්ලක් ගෙන ඔබේ
ගෙයි මුල්ලේ සැඟවී සිටිය යුතුයි. ඔන්න ඔය අවස්ථාවේ මේ ගෙහි මිදුලට තවුසෙක් ඒවි.
අන්න ඒ තවුසාට අතේ තියෙන පොල්ලෙන් පහර දී ඌ මරා දමන්න. මියගිය තවුසා එකවර ම
රන්-රුවන් පිරුණු කළයක් බවට පත් වේවි. ඉතින් කියන්නට ඕනෑයෑ – ඒ වටිනා වස්තුව
විකුණමින් ඔබ ජීවිතාන්තය දක්වා සතුටින් සැපෙන් ජීවත් වෙන්න.”
මේ සිහිනය ගැන කල්පනා කළ චූඩාමණි පණිවිඩ යවා හිස් රැවුල් බෑම
පිණිස කරණවෑමියකු ගෙදරට ම ගෙන්වා ගත්තේය. කෙදිනකවත් නො වුණු අන්දමෙන් අද තමන්
නිවසට ම කැඳවන්නේ ඇයිදැයි යන කුකුසෙන් කරණවෑමියා නිවසට ආවේය. ඔහු රැවුලේ සබන් ගා
දැලිපිහියෙන් රැවුල බාමින් සිටියදී ම තම සිතේ පැවැති විචිකිච්ඡාව තුරන් කර ගන්නා
අදහසින් චූඩාමණි ගෙන් මෙසේ ඇසීය:
“හැබෑවට ම රාළහාමි මඟුල් ගෙයක් වගේ සුබ ගමනක් යන්ඩ වෙන්නැති රැවුල
කපන්නට මාව ගෙන්වා ගන්නට ඇත්තේ?”
“නෑ නෑ එහෙම දෙයක් නො වෙයි වෙනත් කාරණාවක්!”
“මොකක් ද හැබෑට ම ඔය ලොකු කාරණාව?”
කියම්දෝ නො කියම්දෝ යැයි සිතමින් සිටි චූඩාමණි ඉහවහා ගිය
තණ්හාව නිසා රාත්‍රියෙහි දුටු සිහිනයේ වගතුග අකුරක් නෑර කියා දැම්මේය. එහි අකුරක්
නෑර අසා සිටි කරණවෑමියා, සිය මෙහෙය අවසන් කර ගෙයින් පිටව අහළ ඇති ගස්
ගොම්මනක සැඟවුණේ තමන් ඇසූ සිද්ධියේ ප්‍රතිඵල දැකබලා ගැනීමේ කුකුසෙනි.
කීවත් වගේ එනවා තවුසෙක් ගෙයක් ගානේ සිඟමන් යදිමින් – කුමකින් කුමක්
වේදැයි කියා කරණවෑමියා පඳුරක් අස්සෙ ඇසිපිල්ලන් නො ගසා බලාගෙන. චූඩාමණී
පොල්ලෙන් තඩි ගසන අන්දම ගේ මුල්ලේ සිට පෙරහුරුවක. ආවා තවුසා මිදුලට. ගෙයින් එළියට
පැන්නා චූඩා දුන්නා පොල්ලෙන් තාපසයාගේ ඔළුව දෙබෑ වෙන්ට ම. තාපසයා
අතුරුදහන්. ඒ වෙනුවට රන් රිදී මසු කහවණු පිරුණු මුට්ටියක් ගේ මිදුළේ. චූඩා
අහස දෙස බලාගෙන මොන මොනවදෝ කියමින් මුට්ටිය බදාගෙන ගෙට ගියා.
සිදු වූ මේ සියල්ල දර්ශන මාත්‍රයක්වත් අත්නෑර බලා සිටි කරණවෑමියා කිසිවකු නැති තැනක වාඩි වී සිද්ධිය ආවර්ජනා කරන්නට පටන් ගත්තා. නිධානයක් ලබා ගන්නට ඇති එක ම මාර්ගය මේක තමා. එක එකාගේ හිස් රැවුල් කප කපා දුක් විඳින්නේ අහවල් ලබ්බක් ලැබෙනවාට ද? මාත් ඒ වැඩේ කළා නම් මල්ල ගොඩ. එසේ සිතූ කරණවෑමියා දිනපතා ම හිස් රැවුල් බා පැයක් පමණ ජලයේ ගිලී නා පොල්ලකුත් ගෙන තවුසෙකු එන තෙක් බලා සිටින්නට පටන් ගති. එක් දිනක සිඟමන් යදිමින් ගෙපිළිවෙලින් යන තවුසෙකු ඇස ගැටුණ කරණවෑමියත් දෙවියන් යදින්නට වූයේ මොන අයුරකින් හෝ තවුසා තම ගෙදරට වැඩමවන ලෙස ආයාචනා කරමින්. පින්කඳ සැපත් වීමෙන් තුටු පහටු වූ කරණවෑමියා, අසරණ තවුසාගේ හිස්-මොළ එළියට පනින සේ පොලු පහරක් දී තවුසා මරා දැම්මේය. මෙම සිද්ධිය දෑසින් දුටුවන්ගේ සාක්ෂි මත නඩු විභාගයක් කර, රාජපුරුෂයන් විසින් කරණවෑමියා එල්ලා මරන ලදී.