සිද්ධිය පිළිබඳව රජු සිය මතය මෙසේ පළ කළේය:
“පෙර සිදු වූ දෙයක් පිළිබඳව කථා කිරීමෙන් කරුණක් නැතිව එක් වුණු
මිතුරෙකු ගැන විශ්වාසය තැබිය නො හැකි යැයි කියන්නේ මොන පදනමක් මත ද?”
“ඒක එහෙම පලච්චිදෙන්. මුහුණ දෙන්නට සිදු වී ඇති කරුණට බසිමු. චිත්‍රවර්ණ
දැන් මලය කන්ද අසළ කඳවුරු බැඳ සිටි නම්, අප මොක්ක ද කළ යුත්තේ?”
රජුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමති මෙසේ කීය:
“දේවයන් වහන්ස! මෙහි ආ ඔත්තු කාරයකුගෙන් මට අසන්නට දැනගන්නට ලැබුණා අග්‍රාමාත්‍ය
ගිජු ලිහිණියාගේ උපදෙස් චිත්‍රවර්ණ ප්‍රතික්ෂේප කළ බව. අන්න ඒ නිසා ඔය
මෝඩයා පරාජය කරන්නට අපට හැකියි. මෙවැනි සිද්ධි ගැන පූර්වාදර්ශ පාඨවල සඳහන් වන්නේ
මෙහෙමයි:
මසුරා, දුෂ්ටයා, ඉන්ද්‍රියන් අවසඟ තැනැත්තා, බොරු බේගල් අතාරින්නා,
පමා වී කටයුතු කරන්නා, බියසුල්ලා, වසලයා, මෝඩයා, සතුරා, සෙබළුන්ට අවමන් කරන්නා
කියන අය පහසුවෙන් භේදභින්න කළ හැකි අයයි.
දේවයිනි, දැන් චිත්‍රවර්ණ ටිකෙන් ටික අපේ දේශය ඔහු යටතට
ගනිමින් ඉදිරියට එනවා. අප දැන් කරන්නට ඕනෑ අපේ බලකොටුව වටලන්නට පෙර ගංගා, පර්වත,
වනදුර්ග යන තැන්වල ස්ථානගත කර ඇති හමුදාවන්ට අණ දෙන්න විල්ලිහිණි ආදී
සේනාපතියන්ට නියෝග නිකුත් කිරීමයි. ඒ ගැන යුද්ධ නීතියේ සඳහන් වන්නේ මෙහෙමයි:
යුද්ධය සඳහා දීර්ඝ ගමනාන්තයක් කරා යාමෙන් අධික ලෙස වෙහෙසට පත් වූ,
අතොරක් නැතිව තරණය කරන්නට සිදු වුණ ගංගා කඳු වනදුර්ගයන්ගෙන් කැළඹීමට පත්, ගිනි
බියෙන් තැතිගත්, සාපිපාසාවන්ගෙන් පෙළුණ, කටට රසට ආහාරයක් පතන, රෝගාබාධයන්ට ලක්වුණ,
සංවිධාන ශක්තියෙන් තොර, අඩු හේවාපන්නයන් ඇති, අවු වැසි සුළඟින් පීඩාවට පත්, මඩ
ධූලි ජලය ආදියෙන් හෙම්බත් වූ, අණ පිළිපදින්නට එක්සත් කමක් නැති, සොර සතුරන් ගේ
උවදුරු වලට ලක්වෙන සතුරු සේනාවන්, තමන්ගේ රජා ම වනසන්නට පසුබට වන්නේ නැත.
ඒ පිළිබඳව තවදුරටත් මෙහෙම කියා තිබෙනවා:
රාජාඥාවට බියෙන් රාත්‍රී කාලයෙහි නිදි වරා, එම වෙහෙස නිවා ගන්නට දවල්
කාලයේ නිදන භටයන් වැනසීම සතුරු සේනාවකට පහසු කාර්යයක්.
ඔන්න ඔය හේතු නිසා අපේ සේනාපතියන් කළ යුත්තේ මන්දෝත්සාහී ව සිටින චිත්‍ර වර්ණ ගේ බලඇණි රැයක් දවාලක් නො බලා අසු වුණ තැන දී මරා දැමීමයි.”