164. හිතෝපදේශය | 03 | මුග්ධ කරණවෑමියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

යුද්ධය හැර ගියා කියලා නො මැරී ඉන්න ද?  මෙතැනින් වෙන තැනකට ගියත් වෙන්නේ ඒක ම නේ. මොන දේ කළත් මරණය ඒකාන්ත සිද්ධාන්තයක්. සුළු වූ අපකීර්තියක් ලැබුණා කියා අහු-පහු වෙන එකක් යුතුකමක් නො වේ.

එයට ම ගැළපෙන තවත් රීතියක් තියෙනවා නීතියේ මෙසේ සඳහන් කරලා:

සුළඟ නිසා නැගෙන පහත් වෙන මුහුදු රළ වගේ නිතර ම බිඳී කැඩී වෙන් වෙන මේ සසරෙහි, අනුන්ගේ සැපතක් වෙනුවෙන් දිවි දෙන්නට ලැබුණොත් ඒකත් මහා පුණ්‍ය බලයකින් අත්වෙන වාසනාවක්. රජයක් කියන්නේ ස්ථාවර වස්තුවක් නො වෙයි. විවිධ වෙනස්කම් වලට බඳුන් වන අංග වලින් සමන්විත වූවක්. ඒවා තමා පාලක රජ, ඇමති මණ්ඩලය, රට-නියමිත භූමිය, බලකොටු, බල සේනා, මිතුරන්, රටවැසියා, පුරවැසියන්, ප්‍රාදේශීය පරිපාලන සංවිධාන.

ඔන්න ඔය කරුණු නිසා දේවයන් වහන්සේ සෑම ආකාරයකින් ම රැක ගැනීම අපගේ යුතුකමක් වගේ ම වගකීමක්. ඒකට හේතුව මේකයි:

නායකයකු නැතුව මොන සමෘද්ධියක් සිදු වුවත් රට වැසියාගේ ආරක්ෂාවක් සිදු නො වේ. වෛද්‍ය ශාස්ත්‍රයේ ආරම්භකයා වුණු ධන්වන්තරී තුමාත් මියගියේ රෝගයකින් පෙළීමෙන්.

රජුන් නැත්නම් මේ ජීවලෝකයෙහි වසන සියලු සත්ත්වයෝ ම විනාශයට පත් වෙති. රජු දියුණු නම් වැසියයෝ ද දියුණුවට පත් වෙති. හිරුගේ නැගීමත්–බැසීමත් සමග සිදුවෙන පියුම් විලක විපර්යාශය හා සමානයි.

චිත්‍රවර්ණ රජුගේ සේනාපතියෙකු වන කුකුළා පැමිණ හිරණ්‍යක හංස රජු පෙරළාගෙන තියුණු නියෙන් පහර දෙන්නට විය. එවිට වහා ම ක්‍රියාත්මක වූ සාරස විල්ලිහිණියා රජු ආරක්ෂා කරගනිමින් දියට දැම්මේය. කුකුළ් නිය පාරවල් කාගෙන ම සාරස ඒ හමුදා සේනාංක වනසා දැම්මේය. වටා සිටි අනිත් කුරුල්ලන් සාමූහිකව එක් වී තුඩුවලින් හා නිය පහරින් සාරස මරා දමනු ලැබිණි. ඉන් අනතුරුව චිත්‍රවර්ණ රජු බලකොටුවට පිවිස, බලකොටුවෙහි තිබූ දෑ අත් පත් කර ගත්තේය. වන්දීන් විසින් ගයන ලද ජය ගී මැද චිත්‍රවර්ණ සිය කඳවුර බලා පිටත් විය.

යුධ බිමට රැස්ව සිටි රජපුතුන් විසින් සාරස විල්ලිහිණි සෙන්පති වරයාගේ ගුණ ගයන්නට පටන් ගත්තේ මෙසේය:

තමන්ගේ ජීවිතය පුදා රජු රැකගන්නට උපරිම වෙහෙසක් ගත්තේ සාරස සෙන්පති තුමන්ය. ඔහු රාජ සෙබළුන් අතර අනභිභවනීය නායකයා ද වේ. ඔහු පිරුණු පින් ඇති කෙනෙකි. එවන් අය ගැන මෙසේ ද කියා ඇත:

දෙනුන් උපදවන්නේ හරකුන් ම ය. එහෙත් සිය කඳ උලා ගන්නට අං ඇති ගොණුන්, දෙනුන් බිහි කරන්නේ අල්ප වශයෙනි. ගැහැණුන් දරුවන් වැදුවාට පලක් නැත. බිහි කළ දරුවා දක්ෂයකු නො වේ නම්.

ඔන්න කුමාරවරුනි, සාරස නමැති ශ්‍රේෂ්ඨ පුද්ගලයා විද්‍යාධරියන් පිරිවර කරගෙන දිව්‍ය ලෝකයෙහි දිව්‍ය සම්පත් විඳිනවා. ඒ ගැන මෙසේ ලියැවී තිබෙනවා නීති පුස්තකවල:

සටනෙහි සූරයෙකු නම්, තම නායකයාගේ පැවැත්ම සඳහා ජීවිතය වුවත් පරිත්‍යාග කරන්නේ නම්, භක්තිවන්ත කළගුණ දත් ඔවුහු අනිවාර්යෙන් ම දෙව්ලොව යත්. සතුරන් විසින් වටකරනු ලැබ, නො බියව ඔවුන් සංහාරයකට පත්කළේ නම්, බියගුලුවී නො සැංගුණේ නම්, ඔහුගේ නම සදාකාලිකව ම ලෝකයේ පවතී.

“කුමාරවරුනි, ඔබලා සියලු දෙනා ම විග්‍රහය හෙවත් යුද්ධ ශිල්පය ගැන අසා දැනගත්තා. සතුටුයි ද?”

“එසේය ගුරු දේවයිනි, හොඳටෝ ම සතුටුයි! අප නො දත් කරුණු කාරණා ඉතා රසවත් ව කියා දීම ගැන ඔබ වහන්සේට අපගේ ප්‍රණාමය පුදකරනවා!”

ඔව්, බොහෝ ම හොඳයි; මෙන්න මේ ගැනත් සිතා බලන්න ඕනෑ:

ඇත් අස් පාබලයන්ගෙන් කෙරෙණ සටනක් මේ පොළව පාලනය කරන රජවරුන්ට කිසිදාක නො වේවා! නීතිය මන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක වී, එය සුළඟක් බවට පත්ව සතුරන් ගසාගෙන ගොස් ගිරි ගුහාවල රැඳේත්වා!

 

හිතෝපදේශයේ විග්‍රහ නම් වූ තුන්වන අංකය මෙතනින් අවසානයි.

[සිව්වන කථා සංග්‍රහය 👉]



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll