හ්ම්, එහෙම වෙන්ට හැකියි. හැබැයි මෙහෙමත් විය හැකියි. ශෝකය, සතුරු බිය යන ඒවා ලැබෙන්නේ කියා කරවා ගෙන නොවෙයි. එවැන්නක් වුවහොත් එබඳු දෙයින් ආරක්‍ෂා කරන්නේ මිත්‍රයා විසින්. සතුටට වගේම විශ්වාසයට හේතු වන මිත්‍ර කියන අකුරු දෙක කා විසින් ද මෙලොවට මැව්වේ?
මේ ගැන මෙසේත් කියන්ට හැකියි.
මිතුරා කියන පුද්ගලයා දෑසට රසඳුනක් හා සමානයි. සිතට සොම්නස ලබා දෙන්නෙකි. සැප දුක කියන දෙකේම එකට සිටිති. අන්න එබඳු අය සොයා ගැනීම ඉතා අසීරු ය. ඇති දාට හිතවත්කම් පාගෙන අවුත් ලාභ ප්‍රයෝජන ගන්නා මිත්‍රයන් අප්‍රමාණ වෙයි. සැබෑ මිතුරා යනු කවරෙකදැයි සොයා ගත හැකි, දුක්-කරදර-ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවෙන විටකයි.
මෙසේ බොහෝ වේලාවක් වැළපෙමින් සිටි හිරණ්‍යක, චිත්‍රාංග සහ ලඝුපතනක යන දෙදෙනාඅමතා මෙසේ පැවසීය.
“යාළුවනේ, මේ වැද්දා කැලයන් පිටවුණොත් මන්ථරක බේරා ගැනීම හීනයක්. එයාගේ ජීවිතයම කම්මුතුයි. මූ උගේ ගෙදර යන්නට පෙරාතුව අපේ මිත්‍රයා ගලවා ගන්ට සීරුමාරුවක් කළ යුතු ම යි.”
“හරියට හරි, කළයුතු දෙයක් ඇත්නම් දෙන්න උපදෙස්. ඒ අනුව කටයුතු කිරීම අපට භාරයි!” කියා දෙදෙනා ම එකවර පොරොන්දු වූහ.
“එහෙම නම්, චිත්‍රාංග අර විල අසලට ගොස් මළ අයෙකු සේ සිරුර සකසගෙන සිටිය යුතුයි. ලඝුපතනක කළ යුත්තේ චිත්‍රාංගගේ සිරුර මත නැග හොටයෙන් ඇන ඇන සිටීමයි. වතුර පිපාසයෙන් පෙළෙන වැද්දා යනවා දිය බොන්ට විලට. ඌ දකිනවා මැරුණ මුවා. අවිශ්වාසයක්යැ කපුටෙකුත් මස් කන්ට දඟලනවා. ඉතින් මුව මසේ රසය දන්නා වැද්දා යනවා මුවා ළගට. ඔය අතරේ මං මන්ථරකගේ බැමි කපනවා. වැද්දා සමීපයට එත්ම නුඹලා දෙන්නා පලා යනවා.”
“පැහැදිලියි ද?”
“පැහැදිලි පඬිතුමාණෙනි!”
“අතුරු ප්‍රශ්න?”
“කිසිවක් නෑ!”
විඩාවට පත්ව සිටි වැද්දා ඉබ්බා ගෙන ගොස් විල අයිනේ තබා ඇති පදම් දිය බීවේ ය. තවත් ගමන යා යුතුව ඇති බැවින් මහන්සිය නිවා ගන්නට ගස් සෙවණ යට වාඩි විය. වට පිට බලද්දී දුටු දර්ශනයෙන් හේ මවිතට පත්විය. මුවෙක්. මරන්නට වලි කන්ට ඕන කමක් නෑ. ඌ ම මැරිලා. මළ බවට සාක්‍ෂිය කාක්කෙතුත් කනවා. “හිටහං පුතෝ උඹෙ ගාත් දෙක කපන්නේ මෙහෙමයි. පෙරඅත් කපන්නේ මෙහෙමයි. කැවුතු පෙණ පපු අදින්නේ මෙන්න මෙහෙම - මෙන්න මෙහෙම” කියා හිතින්ම සැලසුම් සකසා, පොරෝ කෙටියත් අතින් වනව වනවා ගියා මුවා වැටී සිටි තැන බලාගෙන. වහාම ක්‍රියාත්මක වූ හිරණයක, මන්ථරකගේ බැඳුම් කපා දැම්මේ ය. ඒ ගමන්ම ඉබි මන්ථරක විලට බැස නෙළුම් ගොමුවක සැඟවුණේ ය. මුවා ද වැද්දා ආසන්නයට එත්ම පවනට බඳු වේගයෙන් පලා ගියේය. පැන යන මුවා දුටු වැද්දා, කෝපය මුසු ලජ්ජාවට පත්ව ගස් ගොම්මන වෙත එමින් ඉබ්බා ගැන විපරම් කළේය. ඉබ්බා තබා ලබ්බක්වත් නොදුටු වැද්දා මුසපත්ව මෙසේ සිතුවේ ය.
“වෙච්ච දෙයට දෙයක්! හරි හැටි කල්පනා නොකර කළ දෙයින් ඉබ්බත් නෑ - මුවත් නෑ. මෙහෙම මරිකම් මටම නේ වෙන්නේ. ඔය වගේ දේ ගැන මෙහෙම කියා ඇති බව මං අහල තියෙනවා.”
කිසිවෙකුට තමන් සතුව ඇති ස්ථිරසාර දේවල් අත්හැර, සැක සහිත දේවල් පස්සේ යයි ද ඔහුගේ ස්ථිර සාර දේවල් විනාශ වී යයි. අස්ථිර දේවල් නැසුණා ම තමා.
එසේ දිගින් දිගටම සිදු වූ දේ ගැන ශෝකයෙන් සන්තාපයෙන් කල්පනා කරමින් සිට වැද්දා බලාපොරොත්තු සුං කරගෙන තම නිවසට ගියේ ය. මන්ථරක ආදී සියළු යහළුවන් එක් වී සිදු වෙන්නට ගිය විනාශයත්, එයින් ගැළවුණ අකාරයත් කියා පාමින් එකිනෙකා අතර සමාව යැදීම් මෙන්ම ස්තූති ප්‍රකාශ කරමින් සුවසේ කල් ගෙවූ හ.
සුදර්ශන රජුගෙ රාජ පුත්‍රයන්, මිතුරන් ලබා ගැනීම, ඔවුන් හා කරන ආශ්‍රය, විපත්වදී පිහිට වන සැටි ආදී කරුණු නීති ප්‍රකාරව දැන උගෙන සිය උපාධ්‍යායන්ට ගුරු ගෞරය දක්වා මෙසේ කී ය.
“ගුරු දේවයනි, ඔබතුමා විසින් ඉතා අලංකාර කතා මඟින් කියා දුන් උපදේශ උගෙන අපි ප්‍රීතියට පත් වීමු. අපේ සිතුම් පැතුම් සියල්ලක්ම මනාව ඉටු විය.”
කුමාරයන්ගේ ගරු සරුකම් අසා සිටි විෂ්ණු ශර්ම පඬිඩවරයා මෙසේ කීවේ ය.
“ඔය කී සුළු කරුණුවලින්ම මනදොළ පිරුණා ද? නමුත් හිතට ගත යුතු තවත් දේවල් ද තිබෙනවා.”
යහපත් කුමාරවරුනි, ඔබට යහපත් මිත්‍රයන්ම ආශ්‍රය කරන්නට ලැබේවා! ජනපද වාසීන්ගේ භව භෝග සම්පත් වඩා වර්ධනය වේවා! මිහිතලය පාලනය කරනු ලබන රජවරු දසරාජ ධර්මයෙන් තම රාජ්‍යය පාලනය කරනු ලබත්වා! නීතිය මනාලියක සේ පින්වත් වූ ඔබගේ සිත් සතුට පිණිස වේවා!
අඬ සඳ සිළුමිණ කරගත් දෙවියෝ ජනතාවට යහපත උදා කරත්වා!
හිතෝපදෝශයෙහි මිතුරන් සොයා ගැනීම (මිත්‍ර ලාභය - ලබන මිතුරන්) නම් පළමු වන කථා සංග්‍රහය මෙතෙකින් අවසානයි.
[දෙවන කථා සංග්‍රහය 👉]