බමුණන් මරා හෝ ධනය සොයනු.
රජ දරුවන් අනුපම ශාස්ත්‍ර ලාභීන් කරණු පිණිස තම අධ්‍යාපන පටිපාටිය විෂ්ණු ශර්මන් පඬිවරයා ඇරඹීය. එහෙත් එය දරුවන්ගේ සිත් ගන්නට අසමත් වූ බවක් පෙනුණි. එබැවින් කුමාරවරු මෙසේ කියා සිටියහ.
“ගුරු තුමනි, ඔය මිත්‍රලාභය අප අසා ඇති දෙයක්. නැවතත් ඒක ම
කියා දීමෙන් පලක් තියෙනවා යැ. අපට දැනගන්නට ඕනෑ මිතුරන් භේද කරණ හැටි. ඒ සඳහා
යෙදිය යුතු ක්‍රම විධි”
“හැබෑ ද? ඔය දරුවන් දන්නවා එහෙනම් මිතුරන් ඇති කර ගන්නා ක්‍රමය! හොඳා
මං මිතුරන් එකාට එකා නැතිවෙන අන්දමට ඇණ කොටා ගන්නට මග පාදන අයුරු කියා දෙන්නම්”
යැයි පැවැසූ විෂ්ණු ශර්මන් පඬිවරයා ඊට සුදුසු තේමා ගීතය මෙසේ ගැයුවේය:
වර්ධමානෝ
මහා ස්නේහෝ මෘගේන්ද්‍රවෘෂයෝර්වනේ
පිශුනේනාති
ලුබ්ධේන - ජම්බුකේන විනාශිතඃ
“මදෑ කොලා, ඔය අටං පහුර අහවල් එකක් කියා අපට තේරුමක් නැහැ නො වැ”
“හා හා දරුවනේ ඉක්මන් වෙන්ට එපා. මං තෝරලා දෙන්නම්” කියූ විෂ්ණු
ශර්මන් පඬිවරයා එය මෙසේ පැහැදිළි කළේය:
“හිටියා කැලෑවක සිංහයෙකුයි ගොණෙකුයි. මේ දෙන්නා හරිම මිත්‍රයි - එකාට එකා ළෙංගතුයි. ඒ අය අතර තිබුණ සෙනෙහස නිසා රාජ වරප්‍රසාද ලබමින් සිටි නරියෙකුට වැදුණා බඩේ පාර. එයින් නරියා හාමත් වුණා පමණක් නො වෙයි නරි නෝනත් ඇටසැකිල්ලක් බවට පත් වුණා. එයින් ගැළවෙන්නට නරියා මොක ද කළේ? දන්නා නො දන්නා බොරු බේගල් සිංහයාටයි ගොණාටයි කියා උන් දෙන්නා භේද කළා. භේදයේ ප්‍රතිඵලය තමයි ඔවුන් දෙන්නා ඇනගෙන ඉරාගෙන පලාගෙන මරණයට පත්වීම. වැටහුණා ද ගීයේ අදහස?”