50. හිතෝපදේශය | 02 | බමුණන් මරා හෝ ධනය සොයනු

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“අපොයි ඔව් අගේට වැටහුණා. මොනව ද කී කේළාම්? පණ වගේ ඉන්න යහළු මිත්‍රයන් ඔය වගේ විනාශයක් කරගත්තාය කියන දේ විශ්වාස කරන්නත් අමාරුයි නේ!”

“ඔන්න අහගන්නවා හොඳයි සිද්ධියේ අග මුළ” යි කී පඬිවරයා මෙසේ සිද්ධිය විස්තර කරන්නට පටන් ගත්තේය:

“දරුවනේ මේ දඹදිව දකුණු දිශාව පැත්තට වෙන්නට තිබුණා ස්වර්ණවතී නමින් නගරයක්. එහි වාසය කළා වර්ධමාන කියා හඳුන්වන වෙළෙන්දෙක්. එයා හැබෑම ධනවන්තයෙක්. කරත්ත සිය ගණනක බඩු භාණ්ඩ පුරවාගෙන ගමින් ගමට නගරයෙන් නගරයට රටින් රට යමින් වෙළහෙළදාම් කර තමා ධනපතියෙකු වුණේ.

වර්ධමානට අසීමිත ලෙස ධනය තිබුණු බව හැබෑව. එහෙත් එයාගේ ඥාති මිත්‍රයන් මෙයාට ඉහළින් යාවි කියන සැකය නිසා වෙළෙදාම ඇතුළු ධනෝපායන මාර්ග අත් හැරියේ නෑ. අනිත් අයට වඩා තමන් ඉහළින් සිටිය යුතුයි කියන සිතිවිල්ල දිවා රෑ දෙකේදී ම මෙයාගේ හිතට වධ දුන්නා. ඒ නිසා සෙස්සන් නො කරන ආකාරයේ ක්‍රියා විධි අනුගමනය කරන්නට ඉටා ගත්තේ නව ආර්ථික විද්‍යා සැලැස්මකට තම සිත යොමු කරමින්.”

“ධනයෙන් ආඪ්‍ය අය දෙස බලා අනේ මට එපමණ ධනයක් නැතැ යි යමෙකු සිතුවොත් ඔහු දිළින්දෙක්. අන් සියල්ලන්හට ම වඩා තමන් ධනයෙන් යස ඉසුරින් පිරී ඉතිරී ගොස් ඇතැයි සිතෙන දිනෙක සෙස්සන් නිරායාසයෙන් දිළින්දන් ලෙස හීන මානයට පත් වනු ඇත. එබැවින් කළ යුත්තේ තමන් ධනවතෙකු බව ඔප්පු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීමයි.”

එපමණක් නො වෙයි දරුවනේ ඊට අදාළ තවත් කරුණු එමට තියෙනවා මෙන්න අසා ගන්න:

“ධනවතෙකු වෙන්නට අපේක්ෂා කරන්නා ධනය ලැබෙයි නම් බමුණන් මරා හෝ බලාපොරොත්තු ඉටු කර ගත යුතුයි. අන්න එවැන්නන්ට තමා ගරු බුහුමන් ලැබෙන්නේ. ධනය නැති තැනැත්තා උපන්නේ චන්ද්‍රවංශයේ වුවත් එවැන්නා හෙළා දැකිය යුතු පුද්ගලයෙකි; ගර්හාවට නින්දාවට පත් කළ යුත්තෙකි.

මෙන්න බලන්න ඒ කාරණය ම අවඥාවට ලක්කර තිබෙන හැටි:

අතමිට සරුකර ගන්නා උත්සාහයක් නො දක්වනවා නම්, කළ යුතු දේ පසෙක ලා දෑත පොරවාගෙන කම්මැළි කමෙන් සිටිනවා නම්, ‘දෛවය නිසා කිසිවක් හරියන්නේ නෑ - කළ කර්ම නිසා අත ගහන ගහන දේවල් නැති වෙනවා’ කියා අනුන්ගේ දෙයක් හොරකම් කර ගෙන බඩ වියත රැක ගන්නා පිරිහුණු පුද්ගලයා කිසි දෙයකට නො හොබින කාලකණ්ණියෙක්. උනන්දුව ඇති කඩිසර මහල්ලෙකු වුවත් වැළඳ ගන්නට තරුණියන් කැමති වුවත් අර කී කුසීතයා දෙස හැරී බලන්නේවත් නැහැ”

මනුෂ්‍යයෙකු තුළ තිබිය යුතු උදාරත්වය වනසන කරුණු හයක් තිබෙනවා - ඒවා මෙන්න මේවා:

වැඩක් පලක් කරන්නට ඉදිරිපත් නොවෙන ඔතෑනි කම, දුටු දුටු ස්ත්‍රීන් පසුපස යාමට දක්වන උනන්දුව, විවිධ රෝගාබාධ ඇති බවට නඟන කෙඳිරිය, අප්පෝ උපන් ගම දාලා යන්නෙ කොහොම ද කියා දුෂ්කරතා මැද ම ජීවත් වීම, ඉතා සුළු දෙයින් පවා අධික ලෙස සතුටු වීම, නැතත් කරුණක් සැමවිට ම බියෙන් සැකයෙන් කල්ගත කිරීම තමා ඒවා.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll