53. හිතෝපදේශය | 02 | බමුණන් මරා හෝ ධනය සොයනු

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

දක්ෂයාට කළ නො හෙන ක්‍රියාවක් නෑ. ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්නට ආත්ම ශක්තියක් තිබෙනවා. උත්සාහ වන්තයාට යායුතු දුර ප්‍රමාණයක් නෑ. ශිල්ප ශාස්ත්‍ර දන්නාට ඕනෑම දේශයක ඕනෑම සමාජයක ජීවත් විය හැකියි. ප්‍රිය වචන කතා කරන්නාට කවරෙකු වුවත් තමන්ගේ බහට නම්මවා ගත හැකියි.

ගැල් සාත්තුවට නායකත්වය දෙමින් දින ගාණක් තිස්සේ මෙම ගමනේ යෙදී සිටිය දී වර්ධමාන සිටුවරයාට බලවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ තමන්ගේ රිය අදිමින් සිටි සංජීවකගෙ කකුලක් මඩ වළක එරීමෙන් බිඳී යාමයි. සිටුවරයා මෙම අපේක්ෂා විරහිත ව සිදු වුණු ආපදාවෙන් අප්‍රමාණ ලෙස සන්තාපයට පත් විය. දරුවෙකු ලෙස හැදුණ සංජීවක අසරණ ලෙස හෙළන බැලුම් වර්ධමානගේ හදවත රිදවන්නට පටන් ගති. මෙතෙක් කල් තමන්ගේ ධනය රැස් කර දෙන්නට අනුපම මෙහෙයක් ඉටුකළ සංජීවක දෙස බලා ඔහු මෙසේ සිතුවේය:

වෙළඳ නීතියෙහි තියෙන්නේ කුමන ප්‍රශ්නයක් ආවත් අවස්ථානුකූලව ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු බවයි - උත්සාහය අත් නො හැරිය යුතු බවයි. එම උත්සාහයන්ගේ ඵලය තීරණය කරන්නේ මහා බ්‍රහ්මයා ලෙස හඳුන්වන දෛවය විසිනි. මට දැන් මුහුණ දෙන්නට සිදු වී ඇත්තේ එවන් දෛවෝපගත සිද්ධියකට යි.

එසේ නමුත් මෙහි දී විශේෂයෙන් කිව යුත්තක් ද ඇත. එය මෙයයි:

අප ජීවත් වන ලෝකය තුළ ඇතැම් දේ සිදු වීමත් සමහර දේ සිදු නො වීමත් විස්මයට හේතුවක් නො වෙයි. එය ලෝක ස්වභාවයයි. යමෙකු ඒ ගැන නො සිතා විස්මයට පත් වීමෙන් සිදුවන්නේ බලාපොරොත්තු නො වන අන්දමේ අතුරු ආන්තරා රාශියකට මුහුණ පෑමට සිදු වීමයි. මේ නිසා විස්මය ඉවත ලා කළ යුත්ත නො පමා ව කිරීමයි වඩාත් වටින්නේ.

එසේ තර්ක වාදීව සිතා බැලූ වර්ධමාන සිටුවරයා සංජීවක අතහැර දමා ධර්මපුර නගරයට ගොස් ගෙනාවා ගොණෙක්. සංජීවකගේ කාර්යය ඉටු කළේ ඒ ගොණා ධර්මපුර ගොණා. ගොණා වුවත් සංජීවක කල්පනා කළා අතේ පයේ වාරු තියෙන තාක් කල් කවුරුත් සලකයි. බැරි දාට තමන්ට තමන් ම තමා. ‘උත්සාහවන්තයා ජයගනී’ කියලා තියෙනවා නේ. මාත් මඩේ එරිල ඉන්න එකේ තේරුමක් නෑ. දනි පනි ගහල බලන්නට ඕනෑ වැටුණු වළෙන් ගොඩ එන්ට කියා හිතාගෙන ආබාධයක් නැති කකුල් තුනට පණ පොවා සිරුරේ සියලු බර ඒවාට පවරා දෙමින් වදෙන් පොරෙන් නැගී සිටියා.

ඔය වගේ සිද්ධි ගැන නීති පොත්වල සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි:

එකෙකු සාගර ජලයේ ගිලෙනවා. ඔහු මොන ආකාරයෙන් හරි දඹි ගහලා බේරෙන්න උත්සාහ ගන්නව නේ. කන්දක් මුදුණෙන් කෙනෙකු වැටෙනවා. ඔහු කරන්නේ කවරෙකු හෝ එන තෙක් පණ නළ ආරක්ෂා කරගන්නට. මහමඟ යද්දි ගැසුවා නයෙක්. කකුල මිරිකාගෙන හරි ඔහු කෙනෙකු හමුවෙන තෙක් එනවා. ඕකට තමා කියන්නේ උත්සාහය ඇති නම් තමන්ගේ පණ තමන් විසින් ම රැක ගන්නවා කියලා.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll