ඔය ගැන තවත් කියමන් තියෙනවා මෙන්න මෙහෙම:
ජීවත්වීමේ වාසනාව ඇති තැනැත්තාට ඊතලට සියයකින් විද්දත් ඔහුව මරන්නට
බෑ. ඒත් මැරෙන්නට නියමිත අවස්ථාව ඇවිත් ඇත්නම් තණ කොළයක් ඇඟේ ගෑවුණත් මැරෙනවා.
වස්තූ හෝ පුද්ගලයන්ට නියමිත ආරක්ෂාවක් නෑ. නමුත් අපූරුවට වස්තු
රැකෙනවා - පුද්ගලයන් ජීවත් වෙනවා. නොයෙක් උපාය මාර්ග යොදනවා, ආරක්ෂක විධිවිධාන
සලස්වනවා ඒ වස්තුයි පුද්ගලයනුයි මොන හේතුවකින් හෝ විනාශ වෙනවා අකාලයේ මැරෙණවා. මහ
ඝණ කැලෑවක අත්හැර දමන ලද අසරණයන් යහතින් ජීවත් වෙනවා. ආරක්ෂාකාරීව ගෙදර සිටින්නන්
මැරෙණවා - ඒකයි ස්වභාවය.
ඔන්න ඔය න්‍යායය අනුව තමා කැලෑවේ අතරමං කර දමා සිටි සංජීවකගේ
ගිය පණ නළ ගැට ගැහුණේ. කාගෙන් ඉතින් බාධාවක් ද, ගංගා ගං තීරයේ සරුවට වැඩුණු ළා
තණපත් කමින් සිත් සේ දිය බොමින් කිසිදු රාජකාරියක් නැතුව දවස් ගත කළා. මොනව ද
ඉතින් හැදුණා ජවය බලය ශක්තිය නම් මේ යැයි කියන්නා වගේ, මරණයට ගොදුරු සිටි සංජීවකට
ඒ විශාල ඇඟපතක් ලැබීමෙන් ඔහු අභිමානයට පත් වුණා. අං දෙකෙන් ගං ඉවුර දෙබෑ කළා. පා
වලින් පොළොව ඉරා දැමුවා. තමන්ගේ කාය ශක්තිය අභිභවනය කරන්නට සමත් ජගතෙකු නැතැයි
කියන්නා සේ මහ හඬින් තෙපුල් ලන්නට පටන් ගත්තා.
සංජීවක සිටි වනයේ
ආධිපත්‍ය දරමින් රජකම් කළේ පිංගලක නමින් හඳුන්වනු ලැබූ සිංහයෙක්. ඔහු සිය
බාහු බලයෙන් සිවුපාවන් මරා කෑමට පුරුදුව සිටියෙකි. ඇතුන් වැනි සතුන්ගේ කුඹ පලා
දැමීම නිසා සෙසු සියලු සිවුපාවුන් පිංගලකට දක්වන ලද්දේ අසීමිත බියකි.
මෙහෙයින් පිංගලකගේ නියෝගයන් නියෝගයන් ම විය. සියලු සිවුපාවෝ සිංහයා ඉදිරියේ
කෙලින් සිටින්නට අසමත් වූහ. ඔවුහු තමන්ගේ එක ම රජා ලෙස සිංහයා පිළිගත්ත.
එසේ වුවත් නීති ශාස්ත්‍රය එය දකින්නේ මෙසේයි:
සිංහයා තමන් රජා යැයි උදම් වුවත් ඔහු රජ කමට පත් කළ අයෙකු නැත. ඔහුට
අභිෂේක කරන ලද්දෙකු ද නැත. රජා කියා ඔහුට බැල මෙහෙවර කම් කළවුන් නැත. බල පුළුවන්
කාරයෙන් තමන්මයි රජා කියා නම් පට බැඳ ගත්තෙකු විනා ඔහුට ආවඩන්නෙකු සිටියේ ද නැත.
එහෙත් අසරණ සතුන් ඉදිරියේ ඔහු එක ම රජා විය.
කෙසේ වුවත් රාජර්ධියෙන් අගතැන්පත්ව සිටි පිංගලක රාජෝත්තමයා සතෙකුත් මරා ගෙන කා ගඟෙන් දිය පොදක් බී එහි ගිලී නා සරතැස නිවා ගනිමියි සිතා යමුනාව බලා පිය නැගුවා. දිය පොදක් පානය කරන්නට ගඟට මුව එබුවා පමණයි, නැගුණා හෙණ හඬක් වැනි නාදයක් මෙතෙක් කල් මෙම වන රජදහනෙන් නො නැගුණු. දිය බීමට නැවුණු මුව විදුලිය සැරයෙන් එසැවුණා. අත් පා වෙව්ලුවා රජාගෙ. කොහෙන් ගියා ද දන්නෑ දිය පිපාසය. ගලනවා දෙකාන්සෙන් ඩහදිය. කුමක් හෝ විනාශයක් අත ළඟ. හැරුණා ආපසු. රජා ගොසින් නැවතුණේ තම මාලිගාව වන ගල් ගුහාවෙ. තැති ගැන්ම එසේ ම යි. සැකයේ තරම ගහක් කොළක් සෙලැවුණත් ගැස්සුණා. සකල සර්වාංගය ම කිළි පොළලා.