ගුහාව තුළ ද ලොකු ගලකට මුවහා වී සිතුවා කල්පනා කළා. අම්මා මුතුන්
කාලයේදීවත් මෙවන් බියකරු ශබ්දයක් ඇසුණ පුවතක් අසා නෑ. තියුණු දෙනෙත් කැලයට යොමාගෙන
සිටියේ කිනම් මොහොතක මේ හඬ නගන්නා ඇවිත් තමන් බරු ගසාවිදැයි යන සැකයෙන්.
කරටක සහ දමනක
කියන්නේ කලක් සිංහරාජයාගේ රාජකාරි මෙහෙය වූ සිවලුන් දෙදෙනෙක්. ඔවුන්ට රජාගේ
විපිළිසරය මනාව දැක ගන්නට ලැබුණා. අගක් මුලක් නැති රජාගේ භය භීතිය කුමක් අරමුණු
කරගෙන වූවක් දැයි දැන ගැනීමේ දැඩි ආශාවෙන් පෙළුණු දමනක; කරටක අමතා
මෙසේ කීවා:
“මිත්‍රයා අපේ රජා ‘උහුලන්නට බැහැ වතුර පිපාසය’ කියලයි ගඟට ගියේ. එසේ
ගිය මේ වාහෙ ආපහු මාලිගාවට ආවේ වතුර පොදක්වත් කටේ නොගා බයේ ගැහි ගැහී වටපිට බලමින්
අන්ද මන්ද වෙලා. මට නම් පේන හැටියට මෙතැන ලොකු හුටප්පරයක් තියෙනවා. තමුසෙ ඒ ගැන
මොකක් ද සිතන්නේ?”
“යාළුවා, අපේ කැමැත්තකින් යෑ මේ යකාට කෙම් පහන් කරන්නේ. ඒ නිසා මූට
වදින හෙණ ගෙඩියක් ඔහෙ වැදිච්චදෙන්. ඔය අස්කොන් පස්කොන් අසා විසාරච්චි කිරීමෙන් ඇති
පලක් තියේයැ. ඌට කැවුතු පෙනපපු අපට හං කුර ඇට. අනික අමතක ද අපව හිටි හැටියේ ම ඇමති
තනතුරු වලින් පහ කළ අන්දම? මොකෝ අපි අහවල් වරදක් කළාට ද? කළ අවමාන ම මදිද ඔය
මූණත්තහඩුව නොබලා ඉන්නට? ඇමති පට්ටම් නැතුව විඳින බලුදුක මදි ද? ඒවා අමතක කරලා තව
අහනවා උගේ විපිරියාසෙට හේතුව? ඇයි අමතක ද ව්‍යවස්ථා ගත නීති පොත්වල සඳහන් මේ
කාරණා:
“රාජ්‍ය සේවයේ යෙදී ඉන්න මෝඩයන් තමා නීතිරීති චක්‍රලේඛ මුදල්
රෙගුලාසි ආයතන සංග්‍රහ ආදී දහසකුත් එකක් ඒවායේ සඳහන් නම නියමයන්ට අනුකූලව වැඩ
කරන්නේ. උන්ට ලැබෙන්නේ අහවල් දෙයක් ද? එහෙම එකාලට නිදහසේ ඉන්න නෑ - කොටින් ම
කිව්වොත් ඇඳ ගන්නට වස්තරයක් නෑ. ඒත් රජාලට! හතර මහ නිධානේ පහළ වුණා වගේ. උන්ටයි
උන්ගෙ හැත්තටයි.”
“එක එකා යටතේ බැළමෙහෙවර කරන උන්ට සිදුවෙන්නේ සීතයි කියන්නත් බෑ
සුළඟයි කියන්ටත් බෑ අවුවයි කියන්නටත් බෑ. වැදෙන වැදෙන දුක් කන්දරා හ්ම් නො කියා
විඳ දරා ගෙන ඉන්ට. ඒත් හීන් නූලෙන් වැඩ කරන මොළේ ඇත්තා ඉහෙන් බහින රෝගයක් නැතිව
දවසින් දවස සැපයට පත් වෙනවා.
අනුන්ට අත නො පා කෙනෙක්ගෙ උදව්වක් නැතිව කාට හරි ජීවත් වෙන්න හැකි
නම්; ඒ තමා උපතක් ලැබීමේ උපරිම ඵලය. නමුත් කවුරුන් හරි අනුන්ගේ පිහිටෙන් ජීවත්
වුවොත්, අනුන්ගෙන් යැපී ජීවත් වෙන්නට හිතුවොත්, ඒක පණ ඇති ජීවිතයක් නො වෙයි
මළකඳක්.
ධනවතුන්ට ඕනෑ හැටියට සෙල්ලම් කරන්නට සිටින අය තමා දුප්පතුන්. ඔවුන් වරෙව්! කියන පමාවෙන් ආ යුතුයි. පලයව් කීමත් සමග යා යුතුයි. හිඳු කියද්දී එතැනම ලැගිය යුතුයි. නැගිටු කී වහාම නැගිටිය යුතුයි. කියපිය කියද්දී කථා කළ යුතුයි. කට වහපිය කියද්දී නිශ්ශබ්ද විය යුතුයි. ඕනෑ කමයි ආශාවයි නිසා දුප්පතා ධනවතාගේ දෙපා මුළ වැඳ වැටෙනවා.