සේවකයන් අතර අන්ත අසරණ මෝඩයන් ද සිටිනවා. ඔවුන් තමන්ගේ ආත්මය ම
පාලකයා උදෙසා කැප කරන්නේ වෙසඟනුන් වගේ. එසේ නො කළොත් උන්දැලා ඉඳල හමාරයි. අඩු ගණනේ
මාගං සෝළියක් වත් දාලා පන්නා ගන්නවා.
ඒ විතරක් නම් මදෑ - පාලකයා කරන්නේ වැරදි. දුෂණ ක්‍රියා එමට. නීතිය
වල් වැදිලා. සම්පත් තමන්ටයි තමන්ගේ හැත්ත බුරුත්තටයි බෙදා ගන්නවා. සේවකයාට ඒවාට
විරුද්ධ වෙන්ට බෑ. එහෙත් නිදහසේ ඉන්ට ද? ස්තෝත්‍ර ගීත් ගයන්නට ඕනෑ. ආවඩන්නටත් ඕනෑ.
රාජ්‍ය පාලකයාගේ කුමක් හෝ සිද්ධියක් උදෙසා වචනයක්වත් නො කියන සේවකයා
ගණන් ගනු ලබන්නේ මෝඩයෙකු ලෙස. එහෙත් ඒ ඒ කරුණු ගැන දක්ෂ ලෙස නීති රීති පෙන්නා කතා
කළොත් “පලයන්ට පිස්සා”යි කියා පන්නා ගන්නවා. නැත්නම් වාචාලයෙකු කියා ගරහනවා. ඉවසා
දරා ගෙන සිටියොත් ඔහු බියගුළු නිවටයෙකි. ඉවසිල්ලකින් තොරව මැදට පැන කතා කළොත්
හික්මීමක් නැති පාදඩයෙකි. ආරක්ෂාවට ආසන්නයේ සිටියොත් විලිලැජ්ජා නැත්තෙකි. ඈතක
සිටියොත් විචාර බුද්ධියක් නැති නිකමෙකි. මේ අනුව පාලකයන් ඇසුරේ සිටීම යෝගීන්ටවත්
වටහා ගත නො හැකි අවුල් ජාලයකි.
ඒ විතරක් නම් මදෑ - මෙන්න මේකත් අහගන්නවා:
සේවා උසස්වීම් ලබා ගන්නට ඔය රාජ සෙය්‍යාවෙන් ඉන්න උන් ළඟ හතර හන්දි
නවාගෙන වැඳ වැටෙන්ටත් ඕනෑ. උන්ගේ ආරක්ෂාවට තමන්ගේ පණ පුදන්ට වුවත් සූදානම් වෙන්ට
ඕනෑ. තමන්ට කියා සැනසුමක් ලබාගන්ඩ බලු දුක් විඳින්ටත් ඕනෑ. මේ දේවල් කරන්නේ මෝඩ
සේවකයෝ.
කරටකගේ මෙම
උපදේශාවලිය අසා සිටි දමනක ඒවාට ප්‍රතිඋත්තර බැන්දේ මෙහෙමයි:
“ෂා ෂා ෂා මිත්‍රයා එහෙම
කියන්ට එපා! අපි මොක්කු ද උන්නැහේලා ළඟ. තමන්ගේ පාලක උත්තමයාගේ හිත රිදෙන
සිතුවිල්ලක් වත් හිතන්න නාකයි. ඒකයි ඒවා මහා පව් වැඩ. ඇයි මං එහෙම කියන්නෙ මෙන්න
මේ නිසා:
පාලකයාගේ සිත් සතන් ප්‍රබෝධමත් වන අන්දමට වැඩ කළොත් වැඩිකල් නො යාම
අපේ බලාපොරොත්තු උන්නැහේලා ඉටු කරනවාමයි. පරමේශ්වරයා කියන්නේ ලෙහෙසියෙන් ළං
වෙන්නට හැකි උත්තමයෙකු ද? නමුත් දේවාල හදාගෙන පුද පූජා පවත්වා කන්නලව් කළහම
කවදාහරි ඒ උත්තමයා කානාකාරි කී තැනැත්තාට මොකක් නමුත් උදව්වක් කරන්නෙ නැද්ද?
අනික ගරු නම්බු ලබන්නට නම් මොකක් හෝ රාජ සේවාවක යෙදෙන්නට ඕනෑ. එහෙම
වුණොත් ම පමණයි කවුරු කවුරුත් පවන් ගහන්නේ. සේසත් අල්ලන්නේ. ඇත් අස් සේනා ලබාගන්නට
මග පෑදෙන්නේ.
දමනකගේ කීම ඇසූ කරටක මෙසේ කීවේය:
තමුසෙ ඔය කියන හරුප හරිය කියලා ම කියමුකො. නමුත් අපේ රජාගේ මේ
වින්නැහියට අත පත දැමීමෙන් අපට අහවල් බිබික්කමක් ද ලැබෙන්නේ? තමන්ට අයත් නැති
දේවල්වලට හොම්බ දාන්න එපා කියලා නො වැ අපේ නීති පොත් තුළ පිටු ගණන් ලියැවිලා
තියෙන්නෙ. මෙන්න අහ ගන්නවා නීති නියමය:
“තමන්ට අයත් නැති කිනම් දෙයකට වුවත් අත කට පොවන උන්දැලාට වෙන්නේ
‘කූඤ්ඤය ගැළ වූ වඳුරාට වගේ’ තියෙන දෙකමනාවත් නැති කරගෙන අකාලෙ මැරෙන්ට”
“ඔන්න කීවා අපබ්‍රංශයක්! කූඤ්ඤයක් ගැළ වූ පලියට මැරෙන්නෙ කොහොම ද?
එසේ දමනක විමසූ කල, එම කථාව කරටක මෙසේ හෙළි කළේය: