වඳුරාගේ කූඤ්ඤ ගැලවිල්ල.
බොහෝ ම පැරණි කතාවක්. ඒත් හොඳට ම ගැළපෙන්නෙ අදට. ඕන එකටයි එපා එකටයි ඇඟිලි ගැසීම නේ අපේ කාර්යය. ඔන්න එහෙනම් අහගන්නවා. මගධ දේශයෙහි තිබුණා ධර්මාරණ්‍ය නමින් ප්‍රදේශයක්. සුභදත්ත කියන ලිපිකරුවා ඔය ආරණ්‍ය ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථානයක් හදන්නට අවශ්‍ය කළමනා ලක ලෑස්ති කළා. වරිච්චි බැම්මට ඕනෑ කරන වැල් පට ලී දඬු වතුර මැටි වගේ දේවල් පහසුවෙන් සොයාගත හැකි වුවත්, වහලට අවශ්‍ය යට ලී බාල්ක පරාල කුරුපා සඳහා ලී වර්ග තමා ලොකුම ප්‍රශ්නය වුණේ. ඒත් සුභදත්ත වැඩේ අතෑරියේ නෑ. අහළ පහළ ගම් මුරුක්කාදියේ ඇවිදලා හොයා ගත්තා ගස් ඉරුම් කරුවන් දෙන්නෙක්. ඉතින් ඔවුන් කැඳවා ගෙන අවුත් කැලයේ තිබුණ මහා දැවැන්ත පලු ගහක් පෙන්නලා කීවා යට ලී අච්චරයි බාල්ක මෙච්චරයි පරාල කුරුපා ඇතුළු දැව දඬුවල ප්‍රමාණය.
ඉරුම් කරුවන් ඒ දැවැන්ත ගස කපා බිම දමා පොතු ගසා තැබුවා පට්ටලේ.
මුලින් ම ඔවුන් කළේ නූල් ගසා පලු කොටය හතරට වෙන් කිරීම. ඉන් අනතුරුව තමා අවශ්‍ය ලී
වර්ග උදෙසා පැලූ කඳන් ලකුණු කළේ.
බාල්ක සඳහා වෙන් කළ පලු පළුව පට්ටලේ මත තබා ඉරන්නට පටන් ගත්තා.
පාළුවේ භාගයක් ඉක්මවා ඉරෙද්දී කියත හිර වෙන්න පටන් ගත්තා. ඇයි කඳත් අමුයි, අනික
කිරිවලට තද වෙනවා. ඒ වංගියේ ඉරුම් කරුවන් ඉරෙන බාල්ක දෙක මැද්දෑවෙ ගැසුවා කූඤ්ඤයක්. දැන් දෙපලු දෙපැත්තට ඉරන්නට පහසුයි.
කූඤ්ඤය ගැසූ පැත්තේ පහසුවෙන් අතක් දාන්න තරම් ඉඩ. ‘දවලුත් වුණා නෙ බඩගින්නක් තියෙන
නිසා යමු කාලා ම එමු’ කියා ඉරුම් බාස්ලා දෙන්නා කඩ මැණ්ඩියට ගියා.
ඔන්න ඔය අතරේ ආවා කැලේ හක්මන් කරමින් වඳුරු රංචුවක්. ඇතැමෙකු ගඩා ගෙඩි කඩා කන්නට පටන් ගත්තා. සමහරු ලා දළු සොයමින් කෑවා. තවත් සමහරෙකු අතුපතර පැන දුවමින් සෙල්ලම් කළා. ඔය වඳුරු රංචුවේ හිටියා දෙකට තුනට නැති හාදයෙක්. ඔහු අනිත් වඳුරන් අතර සිටියේ කෙරුමෙක් වගේ. රැලේ නායකයාගේ අණ පිළිපදින්නේත් නැහැ. මනමාලකම ඉහ වහා ගිහිල්ලා. වඳුරු ගැටිස්සියන්ට පේන්නට අලුත් යමක් කිරීමයි සිරිත.