බල්ලගෙ වැඩේ බල්ලට බූරුවාගෙ වැඩේ බූරුවට.
ගම් වටා ඇවිද අනුන්ගේ කිලිටි රෙදි සොයාගෙන අවුත් ඒවා සෝදා මැද දී ලැබෙන ගතමනාවෙන් අඹු දරුවන් පෝෂණය කරන්නෙකි කර්පූරපටක. ඔහු වාසය කළේ බරණැස් නුවරට ආසන්න නියම් ගමක. කර්පූරපටක වෘත්තියක් ලෙස කුණු රෙදි සේදුවත් ඔහුගේ බිරිඳ හැබෑ ම හැඩකාරි. ඇඟපත වාත්තු කළ පිළිමයක් වගේ. හංස ගමන. කිරි කිරි සිනහව. ඔමරි බැල්ම. තවත් දේවල් කියන්නට පුළුවන්. මොකට ද ඉතිං තමුසෙගෙ හිත ඤෑහ් කරන්නේ.
මේ කියන දවසේ අර අංගනාව ඇති පදං කර්පූර සමග ගත කරලා නිදා
ගත්තෙ ඔහුව බදාගෙන. රෑ මැදියමත් පහු වෙලා. අහළ පහළ බල්ලෙකු වත් නෑ. ගෙ ඇතුළෙත් නෑ
හැළහොල්මනක්. ඔන්න ඔය ජාමේ තමා ගෙතුළ ඇති අඩුම කුඩුම පොදි ගහගෙන යන්න හොරෙකු ආවේ. කර්පූරපටකට
හිටියා කොටළුවෙක්. ඌ බැඳ තිබුණේ ගෙදර මිදුළේ කණුවක. ගෙදර සිටි බල්ලාත් හැළහොල්මනක්
නැතුව අගුපිළේ වක ගැහිලා නිදි. කොටළුවා කාන්සිය මකා ගන්නට හිතලා කතා කළා
බල්ලාට.
“ඒයි, උඹ නම් මහ අරුම පුදුම බල්ලෙකු නේ! බුරපන් යෝධයෝ, පේන්නැද්ද
හොරකු ඇවිල්ලා සබ්බ සකලමනාව ම අතපත ගාන හැටි. ගෙ දොර රැක ගැනීම උඹටයි බාර. ඒ
හින්දා බුරලා මහ එකා කූද්දපන්. ඇයි බල්ලො උඹේ රාජකාරිය හරියට නො කරන්නේ?”
“මේ මේ බල්ලගෙ වැඩේ බූරුවා බාර ගන්නට ඕනෑ නෑ. මගේ රාජකාරිය මං බලාගන්නම්. බූරුවා බූරුවා වගේ හිටහං. ඇයි බූරුවෝ උඹ දන්නෙ ම නැද්ද මෙච්චර කාලයක් මේ ගේ දොර රැක බලා ගත්තේ මං බව. ඒ නිසා නො වෙද මේ මනුස්සයා මෙතෙක් කල් රැකුණේ? ඒත් මට හරි හමං විදිහට කන බොන ටිකවත් දෙනව ද? නිකං එපා වාහෙට හොදි බෙදන්නා වගේ නේද මුන්දැලගෙ වැඩ-කිඩ? මේ බූරුවා හන්දා මගෙ කදිම නින්දත් කැඩුණා”