රජා ඉදිරියට යනවා. එයාගේ යුතුකම තමා ඇයි ද කින්ද මන්ද කියා
අහවිසාරච්චි කිරිම. ඒ පිංගුත්තරයා නො ඇසුවා ම කියමුකො; පක්ෂපාතී බව පෙන්වන සේවකයාට
සුදුසු අවස්ථා එමට තියෙනවා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට. රජාට ඊයකින් විදින්ට
එකෙකු කුරුමානම් අල්ලනවා. මොකෝ ඒක රජාට නො කියා ඉන්න ද? කාගේ හෝ වැරදි උපදේශයකින්
රජා විනාශ කාරී තීරණයක් ගන්නවා. ඇයි එකේ ප්‍රති විපාක පහදා නොදී ඔහේ කෙලවෙච්චිදෙන්
කියා අහක බලාගෙන ඉන්ට ද? රජා විසින් ඒ මොහොතේ ම කළ යුතු ක්‍රියාවක් - දිය යුතු
නියෝගයක් තියෙනවා, මොහොතක් පමා වුණොත් සිදුවෙන පිපිරීම අතිවිශාලයි. ඇයි ඒක මතක්
කළොත් හෙණ ගහනව ද?”
ඔය ගැන සිතිය යුතු කිවයුතු කරුණු කාරණා මහා ගොඩක් තියෙනවා. සුදුසු
අවස්ථාවක් ආවත් රහසක් කිව යුත්තක් ලබ්බ ගලේ ගැහුවා වගේ කියන්නට යන්නේ නෑ.
එහෙම වුණොත් මගේ ඇමැති දොළ දුකටයි කණ කොකා හඬන්නේ. ඒකටත් හේතුව වෙන
නීති සිද්ධාන්ත තියෙනවා මෙන්න මේ වගේ:
තමන්ගේ පැවැත්ම රඳා පවතින්නට නම්; යම් ගුණයක් හරි හේතුවක් හරි
තියෙන්න ඕන. එක් එක් රජා තම සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන ගුණයන් විවිධයි. සේවකයන්
එය තේරුම් ගෙන ඊට අනුරූප වන පරිදි තම ගුණයන් සකසා ගත යුතුයි. එවිටයි රාජ වරප්‍රසාද
ලබා ගන්නට මග පෑදෙන්නේ. ප්‍රශංසාවට පත් වෙන්නේ. ඒ නිසා අවස්ථාව ලැබෙන තෙක් තමන්ගේ
ගුණවත්කම ප්‍රකාශ නො කරන්නට වගබලා ගත යුතුයි.
මගේ හිතවතා - යාළුවා - සහෝදරයා - මිත්‍රයා, ඔය කී දේවල් ගැන හිතලා
අපේ පිංගලක රජා ළඟට යන්න මට අවසර දෙන්නැ’යි දමනක ආයාචනා කළේය. ඊට
අනුමැතිය කරටක පළ කළේ මෙසේය:
“හොඳා හොඳා, යන්න යන්න. සියලු තලාටු භූමාටු දෙවියන්ගේ ඉඳල ලෝකය පාලනය
කරන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාවයි, ආනුභාවයි, ආඥාවයි. යන ගමනෙන් යහපතක් ම
වෙන්නට ඕනෑ කියා හද පත්ලෙන් ම ආශිර්වාද කරනවා. කිසියම් ම හෙයියම්මාරුවක් නො වී වැඩ
සිද්ධ වේවා! කියන එක තමා මගේ එක ම ප්‍රාර්ථනය. අනික ඔය යන ගමනෙන් ආර්ථික වාසියක්
ලැබෙන්නට ඕනෑ. බියකින් තැති ගැනීමකින් තොරව අපට ජීවත් වෙන්නට මාර්ගයට පෑදෙන්නටත්
ඕනෑ. අපට එරෙහිව එන සතුරන් පරාජය කරන්නට මං පෙත් සලසා ගන්නටත් ඕනෑ. ඒ විතරක් නො වේ
සතුරන් විනාශ කර දමන්නට ක්‍රම උපක්‍රම සොයා ගන්නටත් ඕනෑ. විශේෂයෙන් ම රජා හමුවට
යාම වගේ ම අත් පා අහිමි නො කර ගෙන එන්නට හැකි වෙන්ට ඕනෑ.”යි කියමින් දමනක බදාගත්
කරටක උම්මාවකින් හෘදයාංගම බව පළකර රාජ දර්ශනයට යාම පිණිස මඟ පෙන්වා දුන්නේ ය.
තමන්ගේ ප්‍රාණප්‍රිය මිත්‍රයාගේ ආශිර්වාදයෙන් පිනා ගිය දමනක
හිස් සෝදා නා ගත්තේය. රසමසවුලක් අනුභව කර සප්පායම් වී ආරක්ෂක දෙවි දේවතාවුන්ට
කන්නලව් කර චිත්ත ශක්තිය දැඩිකර ගත්තේය. රාහු කාලය පන්නා හැර පෙරමග සුබ නිමිති බලා
රාජෝත්තමයා බැහැදකින්නට රාජ මන්දිරය කරා පිය නැගුවේය.
දමනක රජ මැදුරට ආසන්න වෙමින් සිටිය දී ම රජාගේ නො සන්සුන්තාවය මැනවින් දැක ගති. වෙනදා පැවති ගරු ගාම්භීර පෙනුම අසළකවත් නැත. ඔහු හැසිරුණේ පූස් පැටියෙකු පරිද්දෙන්.