තමන් දුටු සිතූ දේවල් පිටතට නො පෙන්වා, රජාගෙ ගති ස්වභාවයෙන් විස්මයට
පත් වූවෙකු පරිද්දෙන් භය පක්ෂපාතී ගෞරවය ඉහළින් ම දක්වමින් - පුද කරමින් අඩ දැණිව
නමස්කාර කළේය.
දමනකගේ පැමිණීම දුටු පිංගලක රජු ආදර කරුණා බව මුහුණෙන් ම පළ
කොට තම පැරණි සේවකයා ළඟට කැඳවා ගති. දමනක ද ශරීරයේ අංග අටක් බිම වදින සේ උත්තමාචාර
පවත්වා සුදුසු අසුනක වාඩි විය.
“ඕහ් බොහෝම කාලයකින් නො වැ මුලිච්චි වුණේ
හිටපු ඇමතිතුමා, ඉති ඉතීන් කොහොමෙයි වාස-දේස සැප-සනීප දරුමල්ලන් කාරියැ”යි
රජු විමසුවේ ඉහළින් ම ලෙන්ගතු බවක් පළ
කරමින්.
“බය බෝයි ශ්‍රීමත් දේවේන්ද්‍රයාණෙනි! යටහත් පහත් හිටපු සේවකයකු වන මා
වැනි නිකමෙකුගෙන් ඔබ වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උත්තමයෙකුට අහවල් ලාභයක් ද ප්‍රයෝජනයක්
ද? ඒත් ඉතින් බලු ගැත්තාගේ යුතුකම තමා වරින්වර අවුදින් රාජ දර්ශනයෙන් වත් හිත
පුරවා ගැනීම. ඒ හන්දා තමා දේවයන් වහන්ස දෙය්යන් බුදුවෙන මේ පාණු පැයේ රාජ මන්දිරයට
ගෑටුවේ, තරහ අවසර, ආශිර්වාද කරනු ලැබේවා මේ බලු ගැත්තාට!”
එසේ මූලික සුදුසුකම් තහවුරු කරගත් දමනක තමන් තුළ පවත්නා නීති වෛශාරද්‍යතාව
ඔප්පු කර පෙන්වීම පිණිස සිද්ධාන්තයක් ඉදිරිපත් කළේ මෙසේය:
“දේව උත්තමයාණෙනි! සමා වී අසා වදාළ මැනවි; දත් අතර හිරවුණක් හාරා
ගන්නට ඉරටු කෑල්ලක් ගන්නවා. කණ කසාගන්නට ගන්නෙ වියළි පරඬලාවක්. ඒක අරයට මෙයාට කියා
නෑ – උගත්-නූගත් දුප්පත්-පොහොසත් ආදී කොයි කාටත් පොදු දෙයක් ස්වභාවයක්. අප්‍රාණ ද්‍රව්‍යයක
ඵල ප්‍රයෝජන එසේ නම්; අත්පා අවයව යහමින් ඇති කතා කළ හැකි මනුෂ්‍ය ප්‍රාණියකුගෙන්
කොපමණක් නම් සේවාවක් ලැබෙනව ද?
මගේ දේවයන් වහන්සේ බොහෝ
කාලයක් මට අවමාන කළා - උපහාසයට ලක් කළා - පරිභව කළා. සිහි බුද්ධියක් නැති බූරුවෙකු
යැයි දෙසා වදාළා. ඒ අදහස ම නම් තාමත් මා කෙරෙහි පවතින්නේ, ඒකත් හරි. ඒකට හේතුව
මේකයි:
විවිධ හේතු නිසා කරුණු මුල් කරගෙන ඇතමුන් සමහරුන්ට නින්දා අපහාස
කිරීම සමාජය තුළ පවත්නා සාමාන්‍ය ස්වභාවයක්. ඒවා අසන්නා බුද්ධිමතෙකු නම්;
ධෛර්යවන්තයෙකු නම් කවදාවත් පලා යන්නේ නෑ. හිස පහත් කරගෙන බයෙන් මුළු ගැන්වෙන්නේ
නැහැ. ඒකට හොඳ ම උපමාව තමා දේවයන් වහන්ස පහන් දැල්ල. ඇයි? පහණ යටට හැර වුවත් දැල්ල
නගින්නේ ඉහළට නේ – අන්න ඒකයි.
දේවයන් වහන්ස! ඔන්න ඔය මත අනුව දේශයක පාලනය භාර ගන්නා තැනැත්තා උගතකු බුද්ධිමතකු පමණක් නො වෙයි; සිද්ධි සිද්ධාන්තයන් පිළිබඳවත් හසළ ප්‍රාඥයෙකු විය යුතු ම යි. එසේ විශේෂඥ කමක් පාලකයකුට තිබිය යුත්තේ ඇයි? මෙන්න මේ නිසා: