69. හිතෝපදේශය | 02 | බල්ලගෙ වැඩේ බල්ලට, බූරුවාගෙ වැඩේ බූරුවට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

බොහෝ ම වටිනා අගය කළ යුතු මැණික් තිබෙනවා. සමහරුන් ඒ මැණික් ගල් පාවහන්වලට යොදනවා. තුට්ටුවක් නො වටින වීදුරුගල් ඔබනවා හිසේ පළඳින ඔටුණුවල. තියන්නා ගල කොහේ තිබ්බත් ගලේ වටිනාකම වෙනස් වෙන්නේ නෑ. වෙනස තියෙන්නේ ගල නො හඳුනන තබන්නාගේ.

දේවයන්වහන්ස, ගෞරව පෙරදැරිව දැක්විය යුතු තවත් හේතු තිබෙනවා – එයින් එකක් මෙහෙමයි:

සේවකයන්ගේ දැන උගත්කම් දක්ෂතා ගුණ නුවණ ක්‍රියාකාරීත්වයේ තරම පාලකයන් මනා අධීක්ෂණයකින් දැනගත යුතු දෙයක්. ඒ ගැන නො දැන නො සලකා පාලකයන් විසින් සිය සේවකයන් සමාන තැනක තබනවා නම්; කුමක් ද එයින් සිදුවන්නේ? දක්ෂයා හා නිර්මාණ කරුවා උගතා බුද්ධිමතා අධෛර්යයට පත් වී නව සොයාගැනීම් නො කර මන්දෝත්සාහී ව ඔහේ ලැබෙන තුට්ටු දෙකකට වැනවෙනවා.

එ පමණක් නො වෙයි දේවයන් වහන්ස! විවිධ ගති සිරිත්, දැන උගත්කම්, දක්ෂතා වර්ග හා කුල අනුව සමාජය තුළ වසන්නන් උත්තම මධ්‍යම සහ අධම වශයෙන් වර්ගීකරණය කෙරෙනවා. එම අය පාලන කටයුතු උදෙසා යොදා ගත යුත්තේ එම වර්ගීකරණයට අනුකූලවයි.

දේවයන් වහන්ස! මං එසේ සේවක ස්වභාවයන් ගැන විග්‍රහ කරන්නේ ඇයි? මෙන්න මේ නිසා:

සේවකයෙකු වුවත් ආභරණයක් වුවත් යෙදවිය යුත්තේ තැබිය යුත්තේ ඒවාට සුදුසු ස්ථානයේ. මනා ලෙස කපා කොටා තනාගත් චූඩාමාණික්‍යය හිසේ පළඳනාවකට නො ගෙන පාවහනකට යොදන්නේ නම්; පා සිළම්බුව තැබිය යුත්තේ ජටාවේ. සේවක කාරකාදීන් ගැනත් එපරිද්දෙන් ම ක්‍රියාකරන්නේ නම් රටකට යන කලදසාව කුමක් වෙයි ද?

රත්තරන් යොදා කරන ආභරණයක සැරසිල්ලට ගත යුතු මැණිකක් ඊයමෙන් කෙරෙණ නිර්මාණයකට ගත්තොත් මණික බබළනවා ද? එහි වටිනාකමක් තියෙනව ද? එයින් පෙනෙන්නේ වස්තුවේ වටිනාකම නො දැන යොදන්නා ගේ ඇති මෝඩකමයි කලාත්මක බවේ හීන කමයි.

මේ ගැන අවරෝහණ අයුරින් කිව්වොත් දේවයෙනි, වීදුරු ගල ඔබනවා ඔටුන්නක. පා සිලම්බුවක් හදනවා මැණිකෙන්. ඒක උතුමාණෙනි මැණිකෙ දෝෂයක් එහෙම නො වෙයි; දෝෂය ඇත්තේ හැදූ වඩුවාගේ – එසේ කරන්න යැයි කී උපදේශකයාගේ.

අපේ නීති ග්‍රන්ථවල පරිපාලන ක්‍රම විධි ගැන ලියා තිබෙන උපදේශ බොහොමයි. මෙන්න තවත් කාලෝචිත සිද්ධියක්:

දේශයක් පාලනය කරන රජා - පාලකයා - නායකයා දැනගත යුතු ප්‍රධාන දෙයක් තමා තම පාලන පහසුව වෙනුවෙන් ඒ ඒ අංශවලට යොදනවා ඇති ප්‍රධානයන්ගේ මෙන් ම සෙසු සේවකයන්ගේ ගති-සොබාව - තරාතිරම - බුද්ධිය - සූරබව පමණක් නො වෙයි, හිතවත් කමත් අනාගතයෙහි තමන්ට එරෙහි නො වන බවත් යන කරුණු. අති සූරයෙකුට පාලන ව්‍යුහයේ සියලු බලතල පවරා සොයා නො බැලුවොත් කෙළවෙන්නේ තමන්ගේ රාජ පයිණ්ඩයට ම යි. මේ සියල්ලක් දෙස ම අනිකුත් සේවකයන් මනා අවධානයකින් සිටින බව ද අමතක කළයුතු නො වේ. සර්ව සාධාරණව බුද්ධිමත්ව පාලන තන්ත්‍ර මෙහෙයවන පාලකයාට තමා සේවකයන්ගේ ගරුසරුව නිරතුරුව ලැබෙන්නේ.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll