71. හිතෝපදේශය | 02 | බල්ලගෙ වැඩේ බල්ලට, බූරුවාගෙ වැඩේ බූරුවට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

රජා විසින් ගරු සම්මාන ලබා දෙන පුද්ගලයෙකුට රට වැසියන් විසින් ගරු බුහුමන් දක්වන්නේ රාජ නියමය නිසා. රජෙකුගෙන් යමෙකු අවමානයට පත් වුණොත් වැසියන් ඔහු අවමානයට ලක් කරන්නේ නොකර බැරි කමට. එයට අදාළ පරිකල්පන හේතුව මෙහෙමයි:

කුඩා දරුවෙකු වුවත් යුක්තිය-අයුක්තිය මේ යැයි හේතූදාහරණ සහිතව පහදා දුන්නොත් එය කුශාග්‍ර බුද්ධිමතුන් වුවත් පිළිගත යුතුයි. ඇයි ඒ? සූර්යාලෝකය නො වැටෙන තැනක පවත්නා අඳුර දල්වන ලද පහනකින් නැතිව යන්නා සේ දරුවකු වුවත් නිසි ලෙස දෙන ලද උපදේශයකින් යහපතක් සිදු වන බැවිනි.

බොහෝ වේලාවක් යනතෙක් ම දමනකගේ නීති උපදේශක වලට සවන් යොමා සිටි පිංගලක රාජෝත්තමයා තමන් වහන්සේගේ අදහස් මෙසේ ප්‍රකාශ කරන්නට විය:

දමනක ඔබ මට බොහොමයක් ම හිතවත් බව මම ඉතා හොඳාකාරව ම දන්නා දෙයක්. ඒකට හේතුව මගේ ප්‍රධාන අමාත්‍ය තනතුර දරා පරලෝ සැපත් හසලකගේ පුතෙකු වීමයි. පියාගෙන් පසු ඔබ වග කිව යුතු අමාත්‍ය තනතුරු කිහිපයක් ම දැරුවා. මගේ පාලන ව්‍යුහය අලංකාරවත් කරා. නමුත් මේ එක එකාගේ කේලම් නිසා අපි දෙන්නා අතර විරසකයක් ඇති වුණා. ඇමතිපට්ටම් නැති වුණත් මන්ත්‍රීකම රැකුණා ව්‍යවස්ථාවේ මෝඩ හිඩැස් නිසා.

හැබැයි කල්පනාවෙන් තොරව ඔබ පසුගිය කාලය ගත කළ බවයි මට හිතෙන්නෙ. ඇයි? මං රජා. පස්සෙන් පහුව අවුත් මාව බැහැදැකලා ඇති වූ සිද්ධිවල අහුමුලු ඔප්පු කළා නම් නේද හරි? ඒක ඔබ කළේ නෑ. ඔබට එපා නම් මට මොකෝ කියා මාත් ආඥාවක් නිකුත් කළේ නෑ ‘ඇවිත් බැහැදකින්න’ කියා. ගියදේ ගියාවේ උඹ ද හරි මං ද හරි කියන එක තර්ක කරනවාට වඩා ඇති හොඳම දේ තමයි කියන්නට ඇති සබ්බ සකල මනාව ම බයක් හැකක් නැතිව දැන් කියා සිටීම. මං දී ඇත්තේ වැරදි තීන්දුවක් නම් එය ඉල්ලා අස් කරගෙන වන්දි සහිතව නියමිත රාජකාරි බාර දෙන්නම්!”

මෙම අවස්ථාව උදා කර ගන්නට දමනක සිටියේ දෑතේ ඇඟිලි වරක් නො ව වරකට හැට වරක් ගනිමින්. ඊට සුදුසු අවස්ථාව-පසුබිම හිතුවාටත් වඩා ඉක්මනින් පහසුවෙන් නිර්මාණය වී ඇත. දමනක සිය අත ඇති පන්දුව රජාට ම එල්ල කළේය:

“දේවෝත්තමයාණන් වහන්ස! අවසර, මගේ තීක්ෂණ ප්‍රඥාවට පැටලී තියෙන කාරණයක් පිළිබඳව උතුමාණන්ගෙන් දැන ගන්නට කැමැතියි. හේතුව රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ නො වුවත් රාජෝත්තමයාගේත් රාජධානියේත් දියුණුව ආරක්ෂාව ගැන නිතර සෙවිල්ලෙන් ඉන්න නිසයි මේ ප්‍රශ්නය ඉතා බැගෑපත්ව ඉදිරිපත් කර සිටින්නේ. මං ගැන විශ්වාසයක් ඇත්නම් පමණක් සත්‍ය සිද්ධිය හෙළි කර වදාරන්නට හොඳයි.”

“ඇයි මං තමුන්ට අවසර දුන්නා නො වැ ඕනෑ ම දෙයක් අසා විසාරච්චි කරන්නට කියා. අහමුකො බලන්ට නිරාකරණය කරගත යුතු ප්‍රශ්නය!”



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll