73. හිතෝපදේශය | 02 | බල්ලගෙ වැඩේ බල්ලට, බූරුවාගෙ වැඩේ බූරුවට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

දමනක, ඔබේ බුද්ධිමත් භාවය ඉතා විශිෂ්ටයි. කෙසේ වෙතත් ඒ ශබ්දය ගැන මට ඇත්තේ විසඳාගත නො හැකි සැකයක්. ඒ නිසා රෑ දවල් දෙකේ මම ඉන්නේ ගිනි ගොඩක!”

[එය ඇසූ දමනක මෙසේ සිතුවේය: ‘කරදරවලින් ගැළවෙන්නට මේ රාජධානිය අත හැරලා යමුයි කියා කියන්නේ කොහොම ද? කතාව පටන් ගන්නකොට ම මං නො වෑ ඒකට විරුද්ධ වුණේ. අනේ මාත් කරගත් ගොංකමේ තරමක්! හැකර කමට කියවන්නට ගියා’යි සිතූ දමනක රජාට ඇසෙන සේ මෙසේ කීවේය.]

“දේවයන් වහන්ස! මගේ පණ කෙන්ද තියෙන තාක් ඔබ වහන්සේට බියක් තැති ගැනීමක් සැකයක් අවච්ඡාදියක් වෙන්නට ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා කිසි බියක් නැතිව ආහාර පාන වළඳා සුදුසු ව්‍යායාමවල යෙදිලා සුවයෙන් සැනසුමෙන් කල්ගත කරන්නට ඕන. නමුත් මේ වගේ බැරෑරුම් අවස්ථාවල අපේ කරටක වගේ අයගෙන් උදව් පදව් අවශ්‍යයි. අනික මගේ උපායක් රැකගත හැක්කේත් ක්‍රියාත්මක කළ හැක්කේත් කරටක වැනි විශ්වාසවන්තයන්ට පමණයි. සමහරවිට අමාත්‍ය මණ්ඩලයේ අගේට ඇති දෙපත් නයි. අර භයානක හඬ නගන්නාට අපේ රහස්‍ය උපක්‍රම හෙළි කළොත් ආයෙ දෙකක් නෑ බෙල්ල ගහලා යනවා.”

දමනක ගේ කීම ප්‍රශ්න විරහිතව පිළිගත් පිංගලක උතුමාණන් ශීඝ්‍රගාමී ලෙස පණිවුඩ පණත් යවා කරටක ගෙන්වා ගත්තේය. රහස්‍ය මන්දිරයට කැඳවුණ කරටක ද ප්‍රණීත ආහාරපාන පිළිගන්නවා සිහිවටන ද ප්‍රදානය කර, විරුද්ධ වාදියාගේ ඔද තෙද වනසන මෙහෙයුමේ නියෝජ්‍ය ජනරාල් ධූරයට පත්කරනු ලැබිණ. සියලු ප්‍රතිසංවිධාන කටයුතු නිමාවෙන් අනතුරුව සිය නිවෙස් බලා යමින් සිටිය දී දමනක අමතා කරටක මෙසේ කීවේය:

“ඈ බං මස්සිනේ, රජාගේ භය භීතියට හේතු කාරණා සක සුද්දෙන් ම දන්නෙත් නෑ. හේතුව මොකක් වුණත් ඒවා පසින්දන්නේ මෙහෙමයි කියා ක්‍රමයකුත් නෑ. එහෙම තියෙද්දි සකලවිධ බය සංකා ධූරිංභූත කරඤ්ඤං කියලා අරොන්දු පොරොන්දු වීමත්, ඒ වෙනුවෙන් තුටු පඬුරු ලබා ගැනීමත් හැබෑවට ම බෙල්ල ගහලා යන වැඩක් නෙවෙයි ද? අරක කරඤ්ඤම් මේක කරඤ්ඤම් කියලා අරොන්දු පොරොන්දු වෙලා ඒවා ඉටු කරන්නට නො හැකි වුණොත් මේ පඬුරු පාක්කුඩම් තාන්න මාන්න ලබා ගැනීම කොහෙන් කොහොම කෙළවර වෙන්නක් ද? ඇයි මං එහෙම කියන්නෙ මෙන්න මේ හේතුව නිසා.

රජා කියන්නේ අල්ප ස්වල්ප හාදයෙක් නො වෙයි. එයා කාට හරි පැහැදුණොත් ශ්‍රියා කාන්තාව පහළ වුණා හා සමානයි. රජා ඉදිරියේ වීරකම් පෑවොත් හමුදා ජෙනරාල් නිලයක් ස්ථීරයි. ඒ වගේ ම යි රජා නොරොක් වුණොත් දංගෙඩියට යන්නේ බෙල්ල. ඔන්න ඔය නිසා තමා දෙපැත්ත කැපෙන කඩුවක් ලෙස රජා හඳුන්වන්නේ.

තමන් දරණ තනතුරේ ගෞරවය ආරක්ෂා කර ගන්නට බොහෝ රජුන් දන්නෙ නෑ. දරුවන් වුවත් මනුෂ්‍ය ප්‍රාණීන් බව පිළිගන්නා රජුන් බොහොම හිඟයි.”

කරටකගේ පම්පෝරි අසා සිටි දමනක මහ හයියෙන් සිනාසී මෙසේ කියන්නට පටන් ගති:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll