සිංහයාගේ රැවුල කැපූ මීයා.
ඉන්දියාවේ උතුරු
දිශාවට අයත් දේශයක තිබුණා අර්බුදශිඛර නමින් හැඳින්වුණ කන්දක්. එහි ආධිපත්‍ය
දරමින් සිටියේ දුර්දාන්ත නම් සිංහයෙක්. වික්‍රමාන්විත ක්‍රියා වගේ ම තමා
උපන් ගෙයි ම ලද නපුරුකම. වටපිටාවේ ජීවත්වූවන් සිටියේ හරි ම බයකින්. ඔවුන්ගේ හරකුන්
එළුවන් වැනි ඇති කරන සතුන් දුර්දාන්ත ඩැහැගෙන යන්නේ හරියට තමන්ගේ ම ගාලේ
සිටින එකාලා වගේ.
ඔහු කන්දේ ම ගුහාවක් සකසා ගත්තා වාසයට. දවල් තිස් පැයේ දී නටන නාඩගම්
සියල්ලක් නටා, රෑ බෝ වූ පසු ගුහාවට රිංගා අතපය දිගහැර නිදාගන්නවා. මෙසේ කලක්
ගතවුණා. දිනක් දිය බීමට ගොස් විලකට එබෙද්දී දුටුවා තම මුහුණේ ඡායාව. හත්වළාමයි,
සිංහ වේශයට ආභරණ වූ කේසර අතැනින් මෙතැනින් අඩුවෙලා. සමහර තැනක හමත් පෙනෙනවා. හිතට
ආවේ පළමුව කෝපයක්. ඒ ගමන්ම වස ලජ්ජාවක්. ඇයි හත්වළාමේ තමන් වගේ සිංහරාජයකුට
මෙවැන්නක් වුණේ කොහොම දැයි කියා සොයා ගත නොහුණ නිසා.
කල්පනා කලා දිගින් දිගට. වැටහුණා සිතට. ජානකී තමා ආලවන්ත කම්
පෙන්නලා රැවුලේ කේශර ගලවන්නට ඇත්තේ. ආදෙන්කො පරට්ටී දෙන්නම් බලි බැටේ යි තමන්ට ම
කියා ගත්තා. ඒත් නැවතත් මෙහෙම සිතුවා. එයා එනවා යනවා. මොකෝ මෙතැන එක දිගට පැල්
ගැහෙන එකක් යැ. අනික කෙහුරු ගළවන තෙක් මං මැරී සිටියා යැ. ම්..හු අනේ ඒ මගේ රන්
කෑල්ල ඔය වගේ වැඩක් කරන්නේ නෑ. කියන්නෙ ම මුහුණේ ලස්සන ගැන ම යි. හොඳා මීට පස්සේ
කල්පනාවෙන් ඉන්නම් කෝ යි හිතාගත් දුර්දාන්ත රාත්‍රී නින්දට සූදානම් වුණා.
දුර්දාන්ත නින්දත්
නොනින්දත් අතර. ඇසුණා ශබ්දයක් “තඃ” යන අනුකරණයෙන්. බැලුවා වටපිට. මෙන්න බොලේ මී
තඩියෙක්. හිස වනමින් බලා ඉන්නවා. හුහ්, උඹ ද එහෙනම් මගේ කේශර කපන්නේ. සිංහ සෙයියාව
ට දකුණු ඇලයට නිදන නිසානි වම්පස කේසර කැපුවේ. උඹට යස පාඩමක් උගන්වන්නම් කියා
හිතාගෙන එදා රෑ නිදා ගත්තා වම් ඇලයෙන්.
පාණු පැයේ අවදි වූ දුර්දාන්තට දැම්මා හීන්දාඩිය. ඇයි එදා රාත්‍රියේ
දකුණු පස කේසර කපා තිබුණු නිසා. එදා පටන් රෑ තුන්යම දුර්දාන්තට නින්දක් නෑ.
නිදා ගත්තොත් අර අවලමා කපනවා කේශර. ඉඩක් ලද හැම මොහොතේ ම සිංහයා කළේ එදිරි කාරයා
වූ මීයා සෙවීමට ගුහාව පුරා විමසමින් බලමින්. ඒ පෝරිසාදයා අල්ලා ගන්නට සිංහයාට නො
හැකි වුණා.
තමන්ට මුහුණ පෑමට සිදුවී ඇති අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව දුර්දාන්තට
දිගින් දිගට ම හිතන්නට පටන් ගත්තා.
“තමන්ට එරෙහිව එන්නා මැඩ පැවැත්වීම පරාජය කිරීම අසීරු කටයුත්තක් නො වේ. ඒ එදිරිව එන්නා තමන් හා සමාන නම් පමණයි. නමුත් මීයකු වැනි ඇඹිටිල්ලෙකු සමග පොය්යංගම් ඇල්ලීමට තමන් වැනි ශ්‍රේෂ්ඨකුට වස ලජ්ජාවට කාරණාවක්. මං පිමි පනිනවා ඒ පරයා අල්ලා ගන්නට. ඌ මගේ පා අතරින් රිංගා ගොස් ‘ඇල්ලුව ද ඔය?’ කියා විරිත්තනවා. ඒ හන්දා මේ තක්කඩි මීයා මරා දැමීමට ඌට සමාන සෙබළෙකු ම යි සොයාගත යුත්තේ.”