76. හිතෝපදේශය | 02 | සිංහයාගේ රැවුල කැපූ මීයා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

මෙසේ දිගින් දිගට ම තමන්ට සිදුවෙන මේ මදිපුංචිකම ගැන සිතා බැලූ දුර්දාන්ත සිංහයා, දධිකර්ණ නමින් හැඳින්වුණු බළලෙකු සොයා ගත්තා. නොයෙකුත් අරොන්දු පොරොන්දු සිංහයා දුන්නත් බළලා ගුහාවට ආවේ කැමැත්තකින් නො වෙයි. ඒ බව දත් දුර්දාන්ත දිනපතා ම විවිධ මස් වර්ග දධිකර්ණට ලබා දුන්නා. ගුහාවේ කොටසක් ඔහුට පැවරුවේ සුව පහසු ආසනයක් ද සකසා දෙමින්. බළලාගේ පැමිණීමෙන් බියට පත් මීයා ප්‍රසිද්ධියේ ගුලෙන් පිටතට ආවේ නැත. මීයා නො ආයෙන් සිය කේශර රැක ගෙන සුවසේ නිදන්නට සිංහයාට හැකි විණ. නමුත් මීයාගේ නාදය ඇසෙන විට ඔහුගෙන් සිදුවන අතුරු අන්තරායට බියෙන් සිංහයා කළේ විවිධ මස් වර්ග සපයා දී බළලා ආදරයෙන් රැකබලා ගැනීමයි. බළලා ද සිත් සේ කා බී රෑ දාවල් දෙකේ සැප යහනෙහි සුවසේ නිදා ගත්තේය.

කාලය ද ඉගිලී ගියේය. ගුළෙහි සිටි මීයාට දිනක් ඉසිලිය නො හෙන බඩගින්නක් ඇති විය. කන්නට යමක් ඇද්දැයි විපරමින් ගුහාව පුරා ම මීයා සක්මන් කළේය. එහා මෙහා යන මීයා දුටු බළලා පැනපු ගමන් ඔහු අල්ලාගෙන බරු ගසා කා දැමුවේය. ඒ නිසාවෙන් මීයා දැක ගන්නට හෝ ඔහුගේ හඬ අසන්නට හෝ කලක් ගත වෙන තෙක් ම සිංහයාට නො හැකි විය. ඉන්තේරුවෙන් ම බළලා විසින් මීයා කන්නට ඇත; නැතිනම් බළලාට බියේ මීයා පැන යන්නට ඇතැයි සිතූ සිංහයා මෙසේ ද සිතුවේය.

“බළලා ගෙනාවෙ මීයා නිසා, මීයා නැත්නම් බළලා කුමට ද? ඔහු නවතා ගෙන මස් සපයා දෙමින් කෙම් පහන් කරන්නේ මගේ මොකේ රුදාවට ද?”

කියා සිතූ සිංහයා බළලාට කළ සැලකිලි ද සැපයූ ආහාර ද අඩු කරන්නට පටන් ගති. ආහාරපාන හිඟය අධික විය. සතෙකු මරා කන්නට පිටතට යාමට හිත නැත. එසේ දින කිහිපයක් ම බඩගින්නේ සිටි දධිකර්ණ බළලා මිය ගියේය. ඔන්න ඔය හේතුව නිසා තමා මං කිව්වේ “නිරපේක්ෂෝ න කර්තව්‍යඃ” යන හේතු සාධකය.

එසේ කළ තර්ක විතර්ක වලින් අනතුරුව කරටක සහ දමනක දෙදෙනා සංජීවක නම් වෘෂභරාජයා හමුවන්නට ගියහ. කරටක ඉතා ආඩම්බර ලීලාවෙන් ගසක් යට වාඩි වූයේ තමන්ගේ ගරු ගාම්භීරතාව ප්‍රදර්ශනය කරමින්. දමනක සංජීවක වෙත ගියේය. ඔහු ද සිය මුව විවර කළේ රාජ ඌෂ්ණය මවා ගනිමිනි.

“අඩෝ ගොං තඩියෝ! මේ කැලෑව ආරක්ෂා කිරීමේ වගකීම පිංගලක රාජෝත්තමයා පවරා ඇත්තේ අපට. අර වෘක්ෂය යට මද පවන් විඳිමින් වැඩ ඉන්නෙ සේනාධිනායක  කරටක උතුමාණන්. උන්වහන්සේ නුඹට අණ කර වදාරණවා වහා ම අවුත් බැහැදකින ලෙස. ඒ අණ කඩ කරන්නේ නම්; අද ම දැන් ම මේ වනාන්තරයෙන් යන දිග් භාගෙකට තොලොන්චි වෙයන්. එසේ නො වුණහොත් සිදුවන දේ උඹේ ඉහේ ඉන්න උකුණාවත් දන්නෙ නෑ.

අනික මතක තියා ගං අපෙ රාජෝත්තමයාට නහුතෙට ම නැගලා තියෙන්නෙ තොගේ ඔය අංගපුලාවකට නැති ගොරොද්දෙට. තදේට ම කිපී වැඩසිටින උන්නාන්සේ මොන විධානයක් නියෝගයක් දෙයි ද කියන එක දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි”



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll