එසේ නොයෙක් කරුණු කියා සංජීවකගේ මානය බිඳ දැමූ කරටක දමනක
දෙදෙනා ඔහුව රහසිගත ලෙස අතරමඟ නවතා පිංගලක රජු වෙත ගියහ. තමන් වහන්සේ බැහැ
දකින්නට එන දමනකලා රජු පිළිගත්තේ සාදරයෙන්. ඔවුහු ද පිංගලකට නමස්කාර කර සුදුසු
අසුන් ගත්හ.
“ඉතින් කොහොම ද, ඔය දෙන්නා ඒ අපූරු සතා දැක්ක දුටුව ද?” ඒ පිංගලකගේ ප්‍රශ්නයයි.
“එහෙමයි දේවයන් වහන්ස දැක්කා දැක්කා හොදටෝ ම දැක ගත්තා.”යි දමනක කීවේ
ඊට සරිලන අයුරින් සිය අඟපසඟ ද සකසා ගනිමින්. ඔහු තවදුරටත් ඒ අපූරු සත්ත්වයා ගේ රුව
ලක්ෂණ මවා පෑවේ මෙලෙසින්:
“ඒ විතරක් නම් මදෑ, දේවයන් වහන්සේ අනුදැන වදාළ ගති ලක්ෂණ සාර
සුබාවයන් එහෙම පිටින් ම පිහිටලා. අප්පා උන්නාන්සේත් ලෙහෙසි පහසු උත්තමයෙක් එහෙම නො
වෙයි; ශ්‍රේෂ්ඨයෙකු පමණක් නොවෙයි ශ්‍රේෂ්ඨතරයෙක්. එහෙම නමුත් අපේ රාජෝත්තමයා බැහැ
දකින්නට උන්නාන්සෙත් මනාපයි. ඒත් මහා බලවන්තයෙක්. මනා ලෙස ආරක්ෂක විධි විධාන තර
කරලා තමා බැහැදකින්නට පසුබිම සකස් කළ යුත්තේ. උන්නාන්සේගේ ගරු ගාම්භීර ඝෝෂාව
පවත්වන විට බියට සන්ත්‍රාසයට පත් වෙන්න එපා! ඒ මෙන්න මේ වගේ උපදේශයක් ග්‍රන්ථාගතව
ඇති නිසා –
ඇසුණත් මහ හඬක් හඬේ තරමට බිය නො විය යුතුයි. දත යුත්තේ නැගුණ හඬට
හේතුවයි. ඇසුණ හඬේ හේතුව දැනගත් වෙසඟනක් සමාජ ගෞරවයට පාත්‍ර වූවා.”
“මොනවා! යකඩ කතාවක් නො වැ ඒක. නගර ශෝභිණියක් කොහොම ද ගෞරවයට පාත්‍ර වෙන්නෙ?”යි රජු ඇසූ කල දමනක ඊට අදාළ කතාව ගෙන හැර දැක්වූයේ මෙසේය: