වෙසඟනත් පූජාවට සුදුස්සියක්.
පෙර සමයේ බ්‍රහ්මපුර නමින් හැඳින් වුණ නගරය සෞභාග්‍යයෙන් පිරුණකි. පරිසරයෙන් ද එයට අලංකාරයක් මෙන් ම සෞම්‍ය දේශගුණයක් ලබා දුන්නේ නගරය වටා විහිදුණු ශ්‍රී පර්වතය නමින් හැඳින්වුණ මහා කන්දෙනි. එහෙත් එම පර්වතය නිසා අවිනිශ්චිත භීතියක් ද පුර වාසීන් අතර පැතිර ගියේ ඝණ්ටාකර්ණ නමින් හැඳින්වූ ප්‍රබල රාක්ෂයෙකු එම ඉසව්වෙහි ගැවසෙන බවට කණෙන් කොණෙන් විවිධ ආරංචි වාර්තා වූ බැවිනි.
ඈත එපිට ප්‍රදේශයක බොහෝ දෙනා විසින් පූජෝපහාර දක්වන ලද කෝවිලක්
තිබුණි. එහි තේවා මුර දායක කාරකාදීන්ට දැනුම් දීම සඳහාත් අවශ්‍යතාවයන් අනුව
දායකයන් කැදවීම පිණිසත් භාවිතා කළේ ලොකු ඝණ්ටාරයකි. කාසි පනම් අත මිට හිඟ සොරෙකු
කෝවිල වටා ගියත් කිසිදු ලාභයක් නො ලැබී කල්පනා කරමින් සිටිය දී දැක්කා ඉතා පහතින්
එල්ලා ඇති ඝණ්ටාරය. මේක උස්සාගෙන ගියොත් යහමින් කාසිපනම් සොයාගත හැකි යැයි සිතා
ඔහු බැමි ලිහා ඝාණ්ටාරය සීරුවෙන් තබා ගත්තා කරේ.
“ඉතිං ඝණ්ටාව කරට ගත් හොරා හුන් තැන ම බලාගෙන හිටියා දැ”යි රාජ
පිංගලක ඇසුවා.
[“අනේ හැබෑවට ම වෙන එකකු ඇසුවා නම් මං දෙනවා සන්න සුරල් සහිතව
උත්තරේ. මොක ද කරන්නේ රජා කොට”යි හිතෙන් කියාගත් දමනක,]
“නෑ නෑ දේවයන් වහන්ස, බොහොම සීරු මාරුවට කන්දෙන් බහින්න පටන් ගත්තා –
ඌට දෙයියො බැලුවා! පැන්නා කැලේ සිටි කොටියෙක් හොරා මතට. ඉරුවා ඇඟපත. ගලනවා ලේ.
ලෙයින් දැවටුණු මස් කෑවා කොටියා.”
“මගේ හිතේ හොරා බයේ පැන දුවන්න ඇති?” [“ඉන්දකින් වත් මෙහෙම ගොන්
රජෙක්. කොටියා කෑවහම අහවල් එකයැ ඉතුරු වෙන්නේ”යි මුමුණා ගත් දමනක,]
“අහවල් පැන දිවිල්ලක් – මළා හොරා එතැන ම!”
“හැං දුක්කායි සංසාරේ හැටි”යි ශෝකයට පත් රජා “ඉතින් ඉතිං ඊට පස්සේ”
යි විමසුවා.
“කොටියා පනිද්දී ඝණ්ටාව හොරාගෙ අතින් ගිලිහුණා. ගිලිහුණ ඝණ්ටාව
කන්දෙන් පහළට පෙරැළෙනවා. ඔන්න ඔය අතරේ ඉබාගාතේ ගිය වඳුරු රංචුවකට දැකගන්නට ලැබුණා
මේ සද්දෙ දදා පෙරැළෙන එක. ඝණ්ටාව වදෙන් පොරෙන් නවතා ගත්තා පෙරැළෙන ඝණ්ටාව වඳුරන්.
ඝණ්ටාව ඔසවා ගත් වඳුරන් නැග්ගා කන්දට. උන් දැකලා ඇති නේ ඔය ආගමික සිද්ධස්ථාන කියන
තැන්වල අරක මේක එල්ලලා තියෙන හැටි. ඒ අනුව එල්ලුවා ගහක ඝණ්ඨාව. එතැනින් යන එන සෑම
වඳුරෙක් ම කළේ හිතු හිතු හැටියට ඝණ්ටාරය ගහන එක.
දඩයමටත් මී කඩන්නටත් කැලෑ වැදුණවුන් පිරිසකට කොටියා මරා දමන ලද සොරාගේ සිරුර දැක ගන්නට ලැබී ඇත. ඒ සමග ම නිරතුරුව හැඬ වෙන ඝණ්ටා නාදය ද කණ වැකිණි. ඝණ්ටාකර්ණ රකුසා ද බඩසයින් පෙළෙමින් සිට නෙත ගැටෙන මිනිසුන් මරාගෙන කන්නට පටන් ගති. ඝණ්ටාවක් නාද කරමින් මිනිසුන් මරා කන රකුසෙකු කන්දේ සිටින්නේ යැයි බියට පත් අසල්වාසීන් සිය ගෙවල් අතහැර එම ප්‍රදේශවලින් පලායන්න පටන්ගත්තේ ජීවිතය රැක ගැනීමේ අපේක්ෂාවෙනි.