මෙසේ කල් ගත වෙද්දී නගරයේ සිටි කරාලයාට ගැනුම්කරුවන් හිග වීම
නිසා විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන්නට සිදු විය. කරාලයා යනුවෙන් හැඳින්
වුණේ ප්‍රසිද්ධ නගරශෝභිණියකි; වෙසඟනකි. තමන් ආර්ථික අගාධයකට වැටෙන බව පසක් කළ
කරාලයා ඝණ්ටාවක් ගසමින් මිනිසුන් මරා කන ඝණ්ටාකර්ණ කාරයා ගැන සොයන්නට පටන්
ගත්තා.
කරාලයාගේ විමසීමට භාජනය වූ කරුණු අතර, අවසානයක් නැතිව මේ ඝණ්ටාව නිතර
හඬ නගන්නේ කුමන හේතුවක් නිසා ද? කවරෙකු විසින් ඝණ්ටාව වාදනය කරනු ලැබේ ද? රාත්‍රී
යාමේ ශබ්ද නො නගන්නේ ඇයි? තාලානුරූප නොවී අක්‍රමවත්ව හැඬ වීමට හේතු කාරණා කවරේ ද?
යනු කරාලයාගේ පිළිතුරු සොයන ප්‍රශ්න අතර මුල් තැනක් ගනු ලැබිණි.
කිසිවෙකුටත් නො දැන සේ කන්ද තරණය කළ කරාලයා අවට පරිසරයේ
සියුම් වෙනස්කම් පවා මනා නිරීක්ෂණයකට ලක් කළා. රංචු පිටින් වඳුරන් ගැවසෙන තැනකින්
නැගෙන ඝණ්ඨා හඬ ඇගේ දෙසවනට පතිත විණි. වඳුරන් එකිනෙකා එම හඬ නැගුන තැනින් ඉවත්
යද්දී එම හඬ ද නැවතිණි. තවදුරටත් කළ සමීක්ෂණවල දී සෙල්ලම් පිණිස වඳුරන් විසින්
ඝණ්ටාව යොදා ගෙන ඇති ආකාරය තහවුරු කර ගත්තාය. ප්‍රදේශය තුළ දිනෙන් දින නැගී ආ
අවුල් වියවුල් බවෙන් තැලී මිරිකී ගිය රජු හමුවට ගිය කරාලයා තමන් කළ විමර්ශන
වාර්තාව සිතැඟි පරිදි ඉදිරිපත් කළාය. ඉන් අනතුරුව මෙසේ ද කීවාය:
“දේවයන්වහන්ස! ආරක්ෂක කටයුතු උදෙසා අය-වැය ලේඛනයෙන් ම අනුමත කර
භාණ්ඩාගාර ගතකර ඇති මුදලින් ස්වල්පයක් මුදා හරින්නේ නම්; මට හැකියි මේ ඝණ්ටාකර්ණයා
මෙල්ල කරන්න. මේ මෙහෙයුම කළ යුත්තේ සීරු මාරුවට. පොඩ්ඩක්වත් එහා මෙහා වුණොත් බෙල්ල
ම ගහලා යනවා. ඒත් මට ශක්තියක් තිබෙනවා ඔය පරක්ෂයා මෙල්ල කරන්නට.”
කරාලයා ගේ ඉල්ලීම පිළිගත් රජු සියලු ම ප්‍රතිපාදන ලබා දෙන්නට අදාළ
අංශ ප්‍රධානීන්ට නියෝග නිකුත් කළේය. රාජ සභාවේ සියලු අමාත්‍යවරුන් රැස්කළ වෙසඟන වූ
කරාලයා කටට එන එන නම් කියා ඇමතිවරුන් ලවා නොයෙක් නොයෙක් භාණ්ඩ වර්ග රැස්
කළා ය. ඒ සියල්ලක් ම පූජා භාණ්ඩ ලෙස හුවා දැක්වූ ඇය, මහා දේව පූජාවකට සැරසුණේ අන්
සියල්ලන් ම මවිතයට පත් කරමින්.
දන්නා නො දන්නා දෙවිවරුන්ගේ නාමයෙන් යහන් පිළියෙළ කෙරිණි. තමන්
විශේෂයෙන් දන්නා ගණ දෙවියන් උදෙසා වටිනා අලංකාර යහනක් සකසා මතුරන්නට පටන්
ගත්තාය. එම මැතිරිලිවල ශබ්දය ගරු ගාම්භීර වුවත් පදාර්ථවලින් කියවුණේ රජා ඇතුළු
සියළු මැති ඇමතිවරුන්ට අම්ම-මෝ නැතිව අමු තිත්ත ම තිත්ත කුණුහරුපයෙන් බැණ වැදීමයි.
දුම්මල වරම් දී ගෙජ්ජි සොලවා හිස කරකවා අත් පා සලිත කරමින් කළ පිදේනි පූජාව කරාලයා
මනාප පරිදි අවසන් කළාය.
පිදවිල්ල අවසන් කළ කරාලයා නිවසට ගොස් වඳුරන්ව කෑමට ප්‍රිය කරණ ගඩාගෙඩි රැස් කළාය. පලවැල වෙනුවෙන් වැය කළ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කෙරුණ ප්‍රතිපාදන විය. පළතුරු පැස හිසට ගත් කරාලයා අළුයම් කාලයේ දී වඳුරන් සොයා කන්ද නගින්නට පටන් ගත්තා ය. ඇය කඳු මුදුනට ආසන්න වෙත් ම ඝණ්ඨා නාදය ක්‍රමයෙන් මැකී යන්නට පටන් ගති. තැන් තැන්වල සිටි වඳුරන් මේ එන්නී කවුද? එන්නේ ඇයි? හිසේ ඇත්තේ මොනවා ද? වැනි ප්‍රශ්න ගොඩක පැටලී සිටි බැවින් ඝණ්ටා වාදනය තුනී වෙන්නට හේතු විය. කරාලයා ද වඳුරන් දුටු බවක් නාඟවා ගෙනා පළතුරු පැස ගල්තලාව මත හළා ඉවතට ගියා ය.