මෙතෙක් නොදුටු පළතුරු වර්ග මහ ගොඩක්. මේ නම් මහා දානපතිනියක ම තමා.
අනේ යන්න කැමති දිව්‍ය ලෝකෙකට පාර කැපේවා යි පැතූ වඳුරන් ඝණ්ටාව ඉවතලා අවුත් විවිධ
භෝජනවල රස විඳින්නට පටන් ගත්තා. හෙමින් සීරුවේ ඝණ්ටාවට කිට්ටු වූ කරාලයා පළතුරු
ගෙන ගිය මල්ලට එය ඔබාගෙන එහෙන් මෙහෙන් පැන කන්දෙන් බැස්සාය.
පළතුරු කෑමෙන් තෘප්තියට පත් වඳුරන් සිය ප්‍රීතිය ප්‍රකාශ කරන්නට
ඝණ්ටාව සෙවූ ’මුත්, එය නො දක්නා ලද බැවින් ශෝකාකූලව තැන් තැන්වල ලගිනු පෙනිණි.
තමන් සන්ත්‍රාසයට හා භීතියට පත් කළ කන්දේ හඬ නවතා ලූ නිසා වෙසඟනක වූ කරාලයා
නගර වාසීන් විසින් දේවත්වයෙහි ලා පුදනු ලැබිණි. දේවයන්වහන්ස ඔන්න ඔය හේතුව නිසා
තමයි “ශබ්දමාත්‍රාත් න භේතව්‍යම්” කියා මං කියා සිටියේ යැයි දමනක කීවේය.
කරටක සහ දමනක
දෙදෙනා පිංගලකට මෙන් ම සංජීවකටත් තමන්ට අවශ්‍ය පරිදි කරුණු කියා දී
සැප අනාගතයක් වෙනුවෙන් මග හෙළි කර ගත්හ. ඉන් අනතුරුව සංජීවක වෙත ගිය කරටකවරු
තමුන් හැර අන් පිළිසරණක් නැතැයි තවදුරටත් කියා දී ගොන් නාම්බා පිංගලක වෙත ගෙන ආහ.
සංජීවක සහ පිංගලක
මූලික දැන හඳුනා ගැනීම්වලින් ම සතුටට පත් වූහ. එතැන් පටන් ඔවුන් දෙදෙනා දවසැරියේ
ගහට පොත්තත්, පොත්තට ගහත් ලෙස එකට බැඳෙමින්. කිසිදු ආරානෝරුවක් නැතිව සමගියෙන් හා
සමාදානයෙන් කල්ගත කළ නිසා වන රජදහනේ සෙසු යටත් වැසියන්ට ද සැනසුම් සුසුම් හෙළන්නට
භාග්‍ය උදා විය.
එසේ සාමකාමී පරිසරයක් රාජ්‍යය තුළ නිර්මාණය වෙමින් තිබිය දී, දිනෙක පිංගලක
රජුගේ සොහොයුරෙකු වන ස්වබ්ධකර්ණ මැතිතුමා පැමිණියේය.
තමන් බැහැ දකින්නට පැමිණි සොයුරා සාදරයෙන් පිළිගත් පිංගලක රජතුමා
හිඳිනා අසුන් පනවා සැපදුක් විමසන්නට පටන් ගති. පාන වර්ගයන්ගෙන් සොහොයුරා සැනසූ පිංගලක
රාත්‍රි භෝජනය සඳහා සුදුසු මසක් සෙවීම සඳහා පිටතට යනු පිණිස සූදානම් විය. එය දුටු
සංජීවකට අළුයම් කාලයේ වූ සිද්ධියක් සිහියට නැගී රජු ඇමතීය.
“දේවයන් වහන්ස! අද පාන්දර යාමයේ ඔබවහන්සේ විශාල මුවෙකු මැරුවා නොවැ. එයින් සුළු ප්‍රමාණයක් නෙ වැළඳුවේ. ඉතිං ගාත් පෙරවත් තියෙන්නට එපායැ. මොකෝ ඒවා අතුරුදන් වුණා යැ.”