82. හිතෝපදේශය | 02 | වෙසඟනත් පූජාවට සුදුස්සියක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“ඇත්ත නො වෙන්නම්, මට ඒ ගැන ගනිච්චියක් නැතුව ගියා නේ. ඒ මස් හුටපටේ දන්නෙ දමනකයි කරටකයි තමා.”

“ඉතින් දේවයිනි ඉතිරි අඩුක්කු රාජ භෝජනාගාරයේ තියෙන්නට ඕන. ටිකක් පිටිකක් සොයා බැලුවා නම් නේද හොඳ?”

සංජීවකගේ කථාව පිළිගත් පිංගලක රජා මුළුතැන්ගෙයි තිබුණු පෙට්ටි පෙට්ටගම් ඇතුළු අහුමුළු සියල්ල කළම්ඹා බැලූ ’මුත් මස් තබා මයිලක්වත් සොයා ගැනීමට ඔහුට නො හැකි විය. ආපසු ආ ඔහු සංජීවක අමතා:

“ඔහෙ නෑ - මං මුලුක්කාදියේ ම හෙව්වා. මොක! අඩු ගණනේ ඇට කෑල්ලක්වත් නෑ ලැබුණේ?”

“දස දහසක් සක්වල ඉන්න දෙයියන්ටම පේන්න ඕනෑ නේ මේ අවනඩුව, ඔය පතාරන් මුවාගෙ මස් හැබෑට ම මුං දෙන්නා කොහොම ද ගිල දැම්මෙ. ඕකුන් කෑව ද මොන විදිහට විනාශ කළා ද?”

කියමින් තරහෙන් පුපුරා පුපුරා සිටි රජා කරටක දමනක දෙදෙනාට දොස් පරොස් කියා මාලිගයෙන් පිටව ගියේ සිය සොයුරා වෙනුවෙන් ආහාර සපයා දිය යුතු ව තිබුණු බැවින්.

කෙසේ නමුත් දිනෙන් දින ගබඩාවේ ආහාර අඩු වීම නො කඩවා සිදු විණි. මේ පලහිලව්ව රජාට ද විසඳිය නො හැකි වුණේ භයානක සතාගේ ශබ්දය පිළිබඳ පුවත දමනකලා යටත් වැසියන් හමුවේ හෙළිදරව් කළොත් ඇතිවෙන නව නිග්‍රහය සුළු පටු නො වන බව සිහිපත් වීමෙනි. රාජ සේවාවන්හි තම තමන් අතර විරසකයක් ඇති වුණොත් විශාල නස්පැත්තිවලට මුහුණ පාන්නට සිදු වේයැයි උපකල්පනය කළ සංජීවක සතුටු සාමිචියේ යෙදී සිටිය දී රජා ඇමතුවේ ය.

“ඇත්තටම දේවයන් වහන්ස! රාජ භාණ්ඩාගාරයේ ඇති වස්තු ඔබ වහන්සේගේ අනුදැනුමක් නැතිව අතුරුදහන් වීම බැරෑරුම් ප්‍රශ්නයක්. රාජ නියෝගයකින් තොරව රාජ්‍ය දේපොළ අපහරණය කිරීම රාජද්‍රෝහී ක්‍රියාවක්. එය දඬුවම් ලැබිය යුතු වරදක්. පුදුමය මේ තත්ත්වය දිනපතාම සිදුවීමයි.”

“මටත් තියෙන ප්‍රශ්නයත් ඒක ම තමා. කොහොම ද මගේ නියෝගයක් නැතිව මේ රාජද්‍රෝහී වැඩේ කරන්නේ? කරවන්නේ?”

“හැබැයි දේවයිනි, මේක නම් ලේසියෙන් අමතක කළ යුත්තක් නො වේ. ඇයි ද කියනවා නම් මෙන්න මේ වගේ උපදේශයක් මං අසා තිබෙන නිසා:–

හදිසි විපතක් හෝ කරදරයක් ඇති වුණොත් ඊට සුදුසු පිළියම් කිරීම හැර වෙනත් කිසිදු කටයුත්තක් රාජ ආඥාවකින් තොරව නො කළ යුත්තේ ය. ඊට උප වගන්තියක් තියෙනවා. හදිසි මෙහෙයුමක් කළේ නම් ඒ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් රාජෝත්තමයාට ඉදිරිපත් කළ යුතුය කියා.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll