85. හිතෝපදේශය | 02 | වෙසඟනත් පූජාවට සුදුස්සියක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ඔය ඇමතියන් කියන වෙට්ට පිත්තලයන් ගැන කියාගෙන යනවා නම් උන්ගේ අම්මා කම්පා වේවි ‘අනේ හැබෑට ම මොකට ද මේ වගේ නොසණ්ඩාලයන් වැදුවේ’ කියා. මෙන්න බලන්න උන්ගෙ වැඩවල තරම!

බොහෝවිට මනුෂ්‍යත්වයට ගරු කළ උදවිය ඇමතිපට්ටම් ලැබීමෙන් පසු අමු ම අමු දුෂ්ටයන් බවට පත් වෙනවා. ජනතා අවශ්‍යතා සඳහා රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්නට උනන්දු වෙන්නේ නැහැ. අය-වැය පිළිබඳව නිතර සෝදිසියෙන් සිටින ලෙස රජු උපදෙස් දුන්නත් ඔවුන් කරන්නේ විවිධ ව්‍යාපෘති ඇතිකරමින් ගරාණාවට සුදුසු ලෙස පසුබිම සකස් කිරීමයි. ජනතාවට මේ මේ දේ දිය යුතු යැයි රජු නියෝග කළොත් උන් දන්නා ජනතාව උන්ගේ සනුහරේ උන් ම යි. පාලන කටයුතු තම තමන්ට අවශ්‍ය පරිදි සකස් කරගෙන දූෂණ ක්‍රියා තුළින් මල්ල පුරවා ගැනීම දේශද්‍රෝහි ඇමතියන් ගේ එක ම අරමුණයි.

පාලකයන් කළ යුත්තේ සේවකයන් කෙරෙහි කරුණාව දැක්වීමයි. කරුණාවෙන් තොර පාලකයන් ගේ හොර මැර දූෂණ වංචා සේවකයන්ගෙන් හෙළිදරව් වේ. එයින් දූෂිත පාලකයාට සිදුවෙන්නේ පරණ තුවාලයකින් විටින් විට නැගෙන වේදනාව සේ කායික මෙන් ම මානසික වධයන් විඳින්නටයි.

එ පමණක් නො වේ, පාලකයා විසින් විටින් විට තමන්ගේ සේවකයාගේ දුක සැප, නැති බැරි කම්, ඇති හැකි කම් ගැන සොයා බැලිය යුතුයි. ඇයි ඒ? දිය රෙද්දක් ඇති වතුර එක විට ම සිඳී යනවායැ. එය කීප වරක් තදේට මිරිකා හළොත් පමණයි දිය සිඳී ප්‍රයෝජනයට ගත හැකි වන්නේ. අන්න ඒ වගේ සේවකයාගෙන් වැඩ ගන්නට නම් නිතර නිතර ඔවුන් ගැන අවධානය යොමු කළ යුතුයි.

ඔන්න ඔය සියල්ල ම මැනවින් අවබෝධ කරගෙන තමා සේවකයාගෙන් වැඩ ගත යුත්තේ. ඔය සේවක කළමනාකරණය කියන එක අතුරෙ යනවා වගේ වැඩක්.”

යැයි පැවසූ ස්වබ්ධකරණ සිය සොයුරු පිංගලක දෙස බලා සිටියේ ඔහුගේ තීන්දු තීරණ දැක ගන්නා අටියෙනි. ඊට පිංගලක රජු සිය මතය ප්‍රකාශ කරමින් මෙසේ කීය:

“ඔය කියූ දේවල්වල ඇත්තක් නැතුවා ම නො වෙයි. ඒත් කරටකයයි දමනකයයි එක වල්ලෙ පොල් වගේ සමහර විට මගේ කීම් පයිසෙකට මායිම් කරන්නේ නෑ.”

“ඒක හරි කතාවක් නෙ, ජන නායකය සේනාධිනායක රාජෝත්තමයාට ඉහළින් යන සේවකයන් ඉන්නට පුළුවන් ද?”

“කතාව ඇත්ත, ඒත් මං කන දුංකුඩු උන් දන්නවා නේ. ඉතින් ඒවා එළි සේත්තු වෙයි කියන බයට තමයි මාත් තටු හැලිච්ච කුකුළා වගේ ඉන්නේ.”



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll