84. හිතෝපදේශය | 02 | වෙසඟනත් පූජාවට සුදුස්සියක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ධනය පිළිබඳව කටයුතුවල දී, මොන ම හේතුවකටවත් බමුණන් සම්බන්ධ නො කරගත යුතුයි. ඒ වගේ ම උසස් පෙළපත් ඇත්තන් ඉවත් කළ යුතුයි. ඥාතීන් අසළකටවත් නො ගත යුතු පුද්ගලයන් සේ සැලකිය යුතුයි.

උසස් පෙළපත් ඇති ක්ෂත්‍රියන් මුදල් පරිපාලනය සඳහා යොදා ගත්තොත්; නැති එකා නගන දුක් අඳෝනාවල දී ඒවාට නියත සහනයක් නො දී අතට ගන්නෙ කඩුවයි. ඥාතීන් ළං කර ගත්තොත් උන් කරන්නේ පොදු ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් යෙදිය යුතු මුදල් හදල් හා වෙනත් දීමනා ආදිය යටි මඩි ගසා ගැනීමයි. බමුණන් පැවිද්දන් එම තනතුරෙහි තැබුවහොත් උන් කරන්නේ පුද්ගලයන්ට අයිතිවිය යුතු දේ සාංඝික කර උන්ගේ සුඛ විහරණයට යොදා ගැනීමයි.

රාජ්‍ය සේවාවට කෙරෙන පත් කිරීම් වල දී ඉතා දීර්ඝ වශයෙන් කරුණු සොයා බලන්නට ඕනෑ සමීක්ෂණ කරන්නට ඕන. අනික එක ම තැන එක ම අංශයක අවුරුදු ගණනක් රාජකාරි කරන්නා වැරදි කිරීමට භයක් නෑ. අතීත වැරදි වසා ගැනීමට කල් ඇති නිසා. ඔහු අත්තනෝමතිකයෙකු බවට පත් වන්නේ නිතැතිනි. රජාට බලධරයාට වඩා ඒ ඒ දේ ගැන දන්නේ තමන් බව කියමින් පම්පෝරි ගැසීමයි උන්ගේ සිරිත.

තමන්ගේ පැවැත්මට විවිධ ආකාරයෙන් උපකාර කළ පුද්ගලයන් ආයතන අධිපති තනතුරුවලට පත් කළහොත්, උන් කරන්නෙ උන්ගෙ පෙට්ටගම් පුරවා ගන්නට ක්‍රමවිධි අනුගමනය කිරීමයි. එය වරදක් ලෙස නො සලකන ඔවුහු එය තමන්ට ලැබුණු දායාදයක් ලෙස සලකති. කළ උපකාරය කොඩියක් කරගෙන පොදු රාජ්‍ය දේපල තමන්ගේ සිතැඟි අනුව යොදා ගන්නේ අනේකවිධ දූෂණ ක්‍රියාවල යෙදෙමින්. නිල නො නිල ලෙස දේශ දේශාන්තරයන්හි සංචාරවල යෙදෙන ඇමතියෝ ජාත්‍යන්තර දූෂණවල නිරත වෙති. ඔවුන් රටට හා ලෝකයට හඳුන්වන්නේ තමන් බලවන්තයන් ගේ ම පළුවක් ලෙසිනි. එයින් නො නවතින ඔවුහු පාලන ව්‍යුහය පිළිබඳව ඇති පරිචය ප්‍රදර්ශනය කරමින් රජා ද අවඥාවට පත් වෙන අයුරින් ක්‍රියා කරති.

මගේ ගෞරවණීය රාජ සහෝදරය! ඇතුළතින් දුර්දාන්තයි ඒ වගේ ම චණ්ඩයි–නපුරුයි. එහෙත්, පිටතට ඉවසන බුද්ධිමත් බව පෙන්වන ඇමතියන් තමා කරන තරමක් පාදඩ අවලං වැඩ කරන්නේ. ශකුනි සහ සකටාරගේ කතා තමා මීට දිය හැකි හොඳ ම උදාහරණ.

පිරිස් බලයෙන් සන්නද්ධ, ආර්ථිකයෙන් ඉහළට ගිය, වචනයෙන් සෙස්සන් අවනත කරගන්නා ඇමතියා තමා තමන්ට හෘදයාංගම ලෙස පක්ෂපාතීත්වය නො දක්වන්නේ. ඔහුගේ ධන ආදී ස්ථාවර භාවය නිසා විකල වූ සිතින් කටයුතු කරයි. මෙය ප්‍රාඥයන් ලෝකයට දී ඇති කදිම උපදේශයක්.

රජා පිරිවරා ගෙන සිටින ඇමතියෝ අනේකවිධ දූෂණ ක්‍රියාවල යෙදෙති. රාජ්‍ය භාණ්ඩාගාරයට හිමි යැවිය යුතු මුදල් යටිමඩි ගසති. එවා තමන්ට ම අයත් කරගන්නා උපක්‍රම යොදති. රාජ්‍යයට අයත් වටිනා දේපළ තමන්ට අයත් නො වටිනා දේපොළවලට මාරු කර ගනිති. තමන්ට ලාභයක් ලැබෙන්නේ නම්; ඕනෑ ම පාදඩයෙකු සමග එක් වෙති. මධ්‍යස්ථභාවය සම්පූර්ණයෙන් ම නො සලකා හරිති. රජා මන්ද බුද්ධික නම් ඔහුගේ සෑම වස්තුවක් ම නිර්දය ලෙස පරිහරණය කරති. මේ පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඇමතියන්ගේ කෙරුම්වලින් අතළොස්සකි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll