“ඔන්න ඕවා මේවා හින්දා මට බේරිල්ලක් නෑ – මගේ මිනිහගෙන්. මාව මරාගෙන
කන්න හදනවා. උඹේ ඇඟිල්ලක් වටින්නෙ නෑලු මාව. අනේ මගේ අම්මා මට පිහිට වෙයන්. මං ආවෙ
උඹ වෙනුවෙන් මේ දඬුවම විඳින්ට. ඒක මට සැපයි මගේ මිනිහගේ අඩම්තේට්ටම් වලට වඩා. මාව
මෙතැන බැඳ දමලා උඹ පලයන් මගේ මිනිහා ළඟට. ඒ මිනිහගෙ ආශාව තුරන් කරපං. හැබැයි එතැන
පැල් ගැහෙන්නේ නැතුව වරෙන්.” කී කරණවෑමිය
ගෝපල්ලිය සිය සැමියා වෙත යවා තමන් කණුවේ බඳවා ගත්තා.
කාල වේලාවක් ඉක්ම ගියා. ගෝපල්ලා හරකෙකුගේ හඬින් අවදි වුණා. ගැහැණිය
කනුවේ. දැක්ක ගමන් ම ඇති වුණා කෝපයක්. පටන් ගත්තා සායම අරිමින් බැණ වදින්නට.
“අඩී පාදඩ පාහර අවලමී. ඇයි බොල තොගෙ හොර මිනිහ හොයාගෙන නො ගියේ. මං
කන්ට අඳින්ට දෙන්ඩ ඕනෑ. ලෙඩට දුකට බලන්න ඕනේ. තිඹිරි ගෙඩිය වගේ ආරලා. බලන්න එපායැ
පද්ද පද්ද යන අපූරුව. තොට මාව මදි. ඇයි ඌ ගැන හිත හිතා ඉන්නෙ. පලකො පරට්ටී – දහ පඳුරී,
නටකො ගිහින් එකත් එක්ක ජවුසන්.”
ඔය ආකාරයට ගොපල්ලා බැන්නත් කට හෙලෙව්වේ නෑ කරණවෑමිය හොරේ එළිවෙන
නිසා. වචන මාත්‍රයක් හෝ නො කීමෙන් යක්ෂ සේනාධිපතියා හිසට ආරූඪ වූ ගොපල්ලා පොළොවේ
අඩි හප්පා “ඈ බොල පරට්ටී, තොගේ අහංකාරකම තව ඉවර වුණේ නැද්ද? අරුත් එක්ක තෝ හිතෙන්
පෙම් කෙළිනවා ද? මං අහන දේට තොට උත්තර දෙන්ට බැරි ද? හිටු අද යස පාඩමක්
උගන්වන්නම්.” කියා ගෙතුළට ගොස් පිහියක් ගෙන ආ ඔහු, ඇගේ නාසය කපා දැම්මා.
නාසය කැපුණ ගැහැණිය මුක්කමෙන් කෑ මොර දෙන්නට පටන් ගති. ඒ ගැන වගේ
වගක් නැතුව ඇතුළු ගෙට ගිය ගොපල්ලා පැදුරේ වැතිරී සැනසුමෙන් නිදාගත්තේය. කරණවෑමියා
වෙත ගිය ගොපල්ලිය සැනසුම් සුසුම් සහිතව ආපසු නිවසට අවුත්;
“මොකෝ අර මිනිහ හෙව්ව ද? ආයෙත් තඩි බෑව ද? බැන්න ද? නැත්නම් ආදරෙන්
කතා කළේ දැ”යි ලෙස ප්‍රශ්න අසන්නට පටන් ගත්තාය.
“වහපිය කට. එනවා මෙතැන ප්‍රශ්න අහන්ට! බලකො හොරණෑව වගේ තිබුණු මගේ
කදිම නහයත් අහිමි වුණා. අම්ම මුත්ත කාලෙවත් නො ඇසූ බැණුම වලින් කන් පිරුණා.” යි
කීවේ හොණ හඬින්.
ගොපළු ස්ත්‍රිය කරණවෑමිය බැම්මෙන් මුදා තමන්ගේ අත් පා කණුවට හිර වන සේ බඳවා ගත්තාය. කැපුණ නාස් කොටය අතට ගත් කරණවෑමිය ගෙදර බලා නික්මුණේ මුහුණ පෑ සිද්ධිය මෙනෙහි කරමින් දුක් වෙමින්. බලාපොරොත්තු ඉටු වීමෙන් ප්‍රීතියට පත්ව සිටි සැමියා ගොරොද්දේ පාමින් නිදයි. ඇය ද නින්දට වැටුණත් මොන නින්දක් ද? නාසය නැති ව සමාජයට මුහුණ දෙන්නේ කොහොම ද? නාසයට වුණේ මොකක් දැයි සැමියා අසනවිට මං කියන්නේ මොකක් ද? අනේ අප්පේ මං කර ගත්ත මරි කමක් කියලා ඇය හූල්ලන්න පටන් ගත්තා පැදුරේ වැතිරී. ඔය අතරේ ගෙදර ගිය ගොපළු ලියට එක පැත්තකින් කරණවෑමියා ගේ රස පහස සිහි වෙනවා. ඒ ගමන් ම උදව්වට ආ එකීගේ නහය නෑ. තම සැමියා නිදන්නේ අවලං බිරිඳගේ නාසය කැපූ සතුටින්. නාසයට අතුරු ආන්තරාවක් නැතුව තිබෙණු දකින සැමියා ගන්නා පියවර කුමක් දැයි සිතෙන්නට පටන් ගත්තා. එසේ සිතමින් අඩ නින්දේ තමා එළි වෙන තෙක් පසු වුණේ.