උදේ අවදි වූ කරණවෑමියා “තව වක ගහගෙන නිදහං. මට වැඩට යන්නට පරක්කු
වුණා. ඔය හිස් රැවුල් බාන දැළිපිහි මෙහෙට දීපං” යැයි කීවේ තම බිරිඳට. ඇය උපකරණ
පොදිය දුන්නේ එක දැළිපිහියක් පමණයි. එයින් කෝපයට පත් වූ ඔහු “එක දැළි පිහියකින්
කපන්නට පුළුවන් ද හිස් රැවුල්. ඉඳා, මේකත් තෝ ම තියා ගන්.” කියා පිහිය ගේ තුළට
විසි කළේ වේගයෙන්. තමන් සිතූ පරිදි ම වැඩ සිද්ධ වූ නිසා කරණවෑමියට දෙස් දෙවොල්
දෙමින් මෙසේ හඬ නැගුවා:
“අනේ අම්මේ මේ අවනඩුව දෙය්යන්ට ම පේන්ට ඕනෑ. මේ මිනිහගේ පතු දෙක
පැළිලා කැපුවා නේ කදිමට තිබුණ මගෙ නහය. අසමජ්ජාතියා – ගෝතකර්මයා. උඹට යස පාඩමක්
උගන්වන්නම් මං යනවා මේ අවනඩුව කියන්නට අධිකරණයට. මෙදා පාර නම් අපරාධකාරයා මක බාවලා
ම අරිනවා. මෙච්චර කල් ගුටි බැට කෑවා මදිවාට නහයත් කපලා දැම්මා.” යි
විලාප ගසමින් ගොස් අධිකරණය නිලධරයන් හමුවේ තමන්ට සිදුවූ අබග්ගය
පැමිණිලි කර සිටියා ය.
ඔය අතර ගොපල්ලා එළිවෙන ජාමේ අවදිවුණා. එක් වර ම සිහියට නැගුණේ සිය
බිරිඳගේ අවලං ක්‍රියා. උදහැනැක්කේ ම කෝපය දෙගුණ තෙගුණ උණා. පටන් ගත්තා දෝස්මුරය කස
පුපුරන තාලෙට.
“අඩී පාහරී, දැන්වත් කියාපිය තොගේ හොර ගමන් ගැන. මොකුන් ද බොල තොගෙ
හොර වාහෙලා? ඉන්නේ නම් පත්තිනි අම්මා වගේ. නටන නාඩගං ඉහවහා ගිහිල්ලා. කියාපිය කීව
නේ ද කට ඇරලා. නැත්නම් තෝව අද මෙතන ම බාවනවා.”
සැමියාගේ නො සරුප් වදන් අසා සිටි ගොපළු බිරිඳ ද ඇරියා කට – පිටකළා සවුදම
මිනිහගේ කණේ ඇගිලි ගහගන්න:
“පව්කාරයා – අපරාධකාරයා හරි වැරැද්දක් නො දන්න මී හරකා. උතුම් වූ
පතිවෘතා ධර්මය ආරක්ෂා කරගෙන සිටින මං වගේ සත් පත්තිනියකට ආරෝවක් කරන්න කාට ද
පුළුවන් පිංගුත්තරයෝ? මගේ නො කිළිටි කම පාරිශුද්ධිය ලොව පාලනය කරන දෙවි දේවතාවුන්
අට දෙනා ම දන්නා දෙයක්. ඇයි ඇයි මං එහෙම කියන්නේ? අහගනින් හොඳට මෙන්න මේහෙමයි ඍෂි
උන්නාන්සෙලා කියලා තියෙන්නේ:
පුණ්‍ය වන්ත නිවැරදි ගුණ ගරුක අය ගැන දන්නේ ඒ වගේ ම උත්තමයන් පමණයි. සූර්ය චන්ද්‍ර කියාන දිව්‍ය රාජයන්, වායු දේවතාවා, ගිනි දෙවියා, ආකාශ දේවේන්ද්‍රයා, මහී කාන්තාව, ජල දෙවියා, හිත කියන උත්තරීතර ම වස්තුව, යම දෙවතාවා, දිවාකාලය, රාත්‍රිය සහ උදය, ධර්මය කියන උතුම් වස්තු තමයි ඒ, උන්නාන්සේලා යහතින් මට සාක්ෂි කියනවා.