අන්න ඒ කියමන අනුව ඉතා යහපත් ලෙස පතිවෘත්තා ධර්මය ආරක්ෂා කරන මට
බුද්ධිහීන වසලයන්ට හැකි ද අවැඩක් අවච්ඡාදියක් කරනට! දීග ආ දවසේ ඉදලා මේ වන තෙක්
වෙනත් මිනිහෙකුගෙ අඩු ගණනේ හුළඟක් වත් වැදුණ එකියක් ද මං? හීනයකට වත් පෙනිලා නැහැ
– කූට්ටාලිවීම කෙසේ වෙතත් උඹ වැනි ගෝතයෙකු හැර වෙනත් පිරිමියෙක්. දෙයියන් ඉන්නව
කියන එක ඇත්ත නම් මේ සත්‍යක්‍රියාවේ බලයෙන් මේ අදුරුමිෂ්ට මිනිහා හිතක් පපුවක්
නැති ව කපා දැමූ මගේ නහය තිබුණා වගේ ම පිහිටන්නට ඕන. මගේ සත්‍ය වචනයෙන් ඕන නම් උඹව
අළු දූවිලි කර දමන්නට වුණත් තියෙනවා ශක්තියක්. ඒත් එහෙම කරන්නට හිත දෙන්නෙ නෑ–ඇයි?
නමට නමුත් මිනිහ කමට එක දවසක් හරි හිටි නිසා! අනික ලෝකයාගෙන් එල්ලවෙන දොස් පරොස්
නිසා. බලහං ඔය ඇස් ගෙඩි දෙක හොඳට ඇරලා මුහුණ දිහා.”
තම බිරිඳගෙ බැණ අඬ ගැසීම්වලින්, සත්‍ය ක්‍රියාවන්ගෙන් අන්දමන්ද වූ
ගෝපල්ලා පන්දමක් දල්වා ගෙන ගොස් බිරිඳගේ මුහුණ පරීක්ෂා කර බැලුවේය.
“සීවරන් දෙයියන්ට ම පෙනීයන් මේ පුදුමේ! මං ම කපා දැමූ නාසය පෙර පරිදි
ම තියෙනවා නේ” යැයි විස්මයට පත්ව සිය බිරිඳගේ දෙපා මත ඇද වැටුණේ ගසක් කපා දැමු
පරිද්දෙන්. එ පමණක් නම් මදෑ – මෙසේත් හඬනගා කියන්න පටන් ගත්තා:
“මගේ බුදු සන්තෝ මේ මහපොළොව පැවතුණ තේකට ම මොකාගෙ ගෑණි ද මේ වගේ
පතිවෘතා ධර්මයක් ආරක්ෂා කර ගත්තේ. අනේ මගේ අම්මා පෙරාපු රත්තරන් කඳක්. මේ තුන්
ලෝකයේ ම ඉන්නව ද මං වගේ වාසනාවන්තයෙක්” යැයි මොරගැසූ ගොපල්ලා මෙසේ ද කියන්නට
පටන්ගත්තේය:
අර ගාලේ අගුවෙ ඉන්න පැවිද්දා ගැන මං දන්නවා. එයාගෙ වතගොතත් දැන්
කියන්නම්! ඔය සන්නාසියා ගෙදරින් පැනලා ගියා මලය පර්වතයට. එයින් අවුරුදු
දොළහකට පස්සෙ තමා ඇවිත් ඉන්නේ නගරයට. මේ යකා ආ දා ම නිදා ගත්තේ නගරයේ ප්‍රසිද්ධ
නගරශෝභිනියගේ ගෙදර. එයාගෙ ගෙදර තිබුණා ලීයෙන් හැදූ පැතලි රූපයක්. රූප හිසේ වටිනා ම
මැණිකක්. නිදන්නට ගිය මනුස්සයා දුටුවා අර මැණික. වැඩේ හරි, මේ මැණික හොරා ගත්තොත්
පොහොසතෙකු වෙලා සැප විඳින්නට හැකි යි කියා හිතා ගෙන රෑමැද දෙකාංසයෙන් දහඩිය ගලන
තෙක් ම උත්සාහ කළා. මැණිකේ ආරක්ෂාවට උගුලක් අටවා තිබුණ බවක් නො දත් මේ මනුස්සයා
අතන මෙතන අත ගෑවා. අර රූපය මැදි වෙන්න ඇද තිබුණ නූලක පැටළුණ සන්නාසියා රූපයේ
දෑතින් ඇදගෙන හිරකරගත්තා හෙලවෙන්න බැරි ලෙස. එයින් බියට පත් සන්නාසියා තමන් මුදා
හරිණ ලෙස බැගෑපත් වුණා. ඒ හඬින් අවදි වූ ගණිකාව රූපය දෙස බලා රූපයට මෙහෙම
පිංසෙන්ඩු වුණා.