95. හිතෝපදේශය | 02 | අප්පා ඇඳේ – පුතා අටුවේ

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ගැහැණු ගතිය හරි පුදුමයි; කෝක කොතරම් දුන්නත් අනේ ඇති’යි කියන්නේ නෑ–ආශාවන්ගෙන් කෙළවරක් නෑ. සැමියා මොනතරම් ශ්‍රේෂ්ඨයකු වුවත් හොයන්නෙ ම පිට මිනිස්සුන්. අන්න ඒ නිසා ගැහැණුන්ය කියා හඳුන්වන්නේ තේරුම්ගත නො හැකි විෂ බෝම්බවලට.”

ශීලාචාරකම ගෑවිලාවත් නැති අමුතු ම මාදිලියේ පිරිසක් තමා ගැහැණු ලෙස හඳුන්වන්නේ. ඒකට මෙන්න හේතු:

තමන්ගේ සැමියා ගුණ වන්තයෙකි, ධන වන්තයෙකි, බල වන්තයෙකි, රුවැත්තෙකි, බිරිඳට සැප දිය හැක්කෙකි යන සියලු කරුණුවලින් පරිපූර්ණ වුවත්, ශීලාදි ගුණයක් තබා ඉන්න හිටින්න ගෙයක් දොරක් නැති මිනිසුන් කෙරෙහි ගැහැණු ඇළෙති–ගැළෙති. කවුද ඔය කියන නරිච්චියෝ – මෙන්න මේ වගේ අය ඒකිලාට කටු අකුලක රිංගලා දපනවා තරම්, පිළිකන්නක වැතිරෙනවා තරම් කන්දක ගල් ලෙනක ගල් දෙබොක්කාවක ඇලවෙනවා තරම් සතුටක් සැනසුමක් උඩු වියන් බැඳි විල්ලුද ආස්තරණ එලූ සයනයක හෙවීමෙන් වත් ලැබෙන්නේ නැහැ.

ඔන්න ඔය කියාගෙන ආ තේ උඩිච්චිය ගම්පතියා ගේ පුතා මාතංග සමග අනාචාරයේ යෙදෙමින් සිටියා. ඒ මොහොතේ ම ආවා අප්පා-ගම්පතියා. අර ස්ත්‍රිය මොක ද කළේ කොල්ලා නැග්ඟුවා අටුවට. දැන් මහ උන්දැත් සමග තමා සමයම දෙන්නේ. දෙයියන්ට පෙනියන්කො, පිටතට ගොස් සිටි නන්දනත් මේ මොහොතේ ම කඩා වැටුණේ නැතෑ ගෙදර. එවර මෙන්න බොලේ කියනවා ගම්පතියා ට මෙහෙම අර තේ උඩිච්චි භාරතියා:

“රාළහාමි අන්න අර පොල්ල ගන්න අතට. ‘අහුවෙයන්කො මං බලා ගන්නම්’ කියමින් වෙව්ල වෙව්ලා පිටවෙලා යන්න. ‘යනවකෝ මනුස්සයෝ කී දේ අහලා’ කියමින් ස්ත්‍රිය ද සැරෙන් කතා කළා.”

ස්ත්‍රිය කී ලෙස ම මුදලිත් පොල්ලෙන් කණු බනුවලට තඩි බාමින් බැන වදිමින් පුපුරමින් ගෙයින් පිට වූයේ වේසරමා වගේ. එම විපර්යාසය ඇස පුරා බලාසිටි ගොපල්ලා–නන්දන ඇසුවා බිරිඳගෙන්:

“මොකෝ අර රාළ පුපුර පුපුරා යන්නේ පොල්ල වන වනා! සිද්ධ වුණේ අහවල් එකක් ද? මොකට ද එයා මේ ගෙට කඩා වැදුණේ? කිය හල්ලකො බලන්න වෙච්ච හුටපටේ.”

“අනේ හැබෑට ම මෙහෙමත් අප්පලා ඉන්නවා නේ නොදකින් විතරක්. ඒ මනුස්සයාගේ කෝට් බෑයේ තිබුණලු මසුරන් වගයක්. හෙව්වා හෙව්වා ගේ මුරුක්කාදියේ තිබුණේ නැතිලු. ඒ මනුස්සයා ගෑණිව කොටුමස් කරන්න හදනව දැකල බයට පැන්නා කොල්ල ගෙදරින් එළියට. ඒක දැකපු මහ මිනිහා හිතා ගත්තා ඉන්තේරුවෙන් ම මසුරන්වලට අනින්ට ඇත්තේ කොල්ල තමා කියලා පස්සේ පැන්නුවා අල්ලන්ඩ. අනේ නැන්දෙ මාව බේරා ගන්න කියලා කොල්ලා රිංගුවා අපේ ගෙදරට. මොකෝ ඉතින් පලයන්ට කියා එළවලා දාන්නයැ. මං ඌව නැංඟුවා අර තල අමු මෙනේරි කුරක්කන් දාලා තියන අටුවට. අර මනුස්සයා ගේ අස්සක් මුල්ලක් නෑර හෙව්වා. මං ඒ වංගියේ කීවා ‘කොල්ල ආව තමා, ඒත් ඒකා අන්න අර පිටිපස්සේ දොරෙන් පැනලා ගියා දැන් අල්ලා ගන්නට වෙන්නෙ උගෙ නැට්ට’ කියල. තව ටිකෙන් රාළයා මාවත් කම්බස් කරනවා. ඔන්න ඕක තමා වෙච්ච සන්තෑසිය කී භාරතී කොල්ලා අටුවෙන් බස්සවා ඔන්න මේ ඉන්නේ ‘අප්පා කියන දේ නාහන නොට්ටිගෙ පුතා’ යි දිනුම් පදේත් ගැසුවා.

අහ ගන්නවා ඔය වගේ කරුණු කාරණා ගැන කියා ඇති නීති උපදේශ. ඒ තමා උපායශීලීව කළ හැකි දේවල් ආයුධවලින් බලපරාක්‍රමයෙන් කරන්නට බැහැ. තමන්ගේ පැටවුන් කා දමනවා කළු නයෙක්. පැටවුන්ගේ මව වන කැවිඩියට මෙය ඉවසන්නට නො හැකි දෙයක් වුණා. ඇයි වරක් ද? දෙකක් ද? හත්වාරයක්. කල්පනා කළා නයා මරන්නෙ කොහොම ද කියලා. ඒකට යොදාගත්තේ රන් නූලක්. ඉතින් නයා මළා!

“මොකක් කීවා කැවිඩියක් රන් නූලකින් නයෙකු මැරුවා! අදහන්ටත් බැහැනේ?”

“මොකෝ කරටක අදහන්ට බැරි, අහගන්නවා මෙන්න විස්තරේ” යි දමනක මෙසේ සිදුවීම හෙළි කළා.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll