97. හිතෝපදේශය | 02 | බලවත් ම බලය බුද්ධි බලය

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“හරි, හත් වාරයක්! මතක ද හත් වාරයක්!”

“ඉතින් අට වෙනි වාරය ඊළඟට!”

“කියන අපූරු විතරක්, මට මරන්ට හිතෙනවා.”

’යි කී කැවිඩිය නො රිදෙන සේ සිය හොටෙන් කපුටු සැමියාගේ සිරුරේ තැන් තැන්වලට ඇනගෙන ඇනගෙන ගියා. ඉන් පසු මෙසේ ද කීවාය:

“සෙල්ලමක් නො වෙයි රජෝ  ඒ හත් වර ම අපේ දරුවන් මේ ගහේ ඉන්න කළු නයා ගිල දැම්මා. මේ බලන්න නීති පොතේ දක්වා තියෙන උපදේශය:

ගෙදරක කටයුතු කරන බිරිඳ නපුරියක් නම්; මිත්‍රයා කියා ආශ්‍රය කරන්නා කපටියකු නම්; එකට එක කියාගෙන එන එකෙකු සේවා සඳහා යොදා ගනී නම්; ජීවත් වෙන්ට සිදුවෙලා තියෙන්නෙ සර්පයන් ඉන්න ගෙදර නම්; ඒ අයට මරණය නියතයි – ඒක මොන වෙලාවෙ කඩා පාත් වෙයි ද කියන්න බෑ. ඒ ගැන සැක සංකා කරන්නට දෙයක් නෑ.”

ආදරබර ලෙස බිරිඳ ඉදිරිපත් කළ අදහස් ගොන්නට සිත යොමු කළ කපුටු භාතිය, තරහෙන් ආවේගයෙන් මුසුව මෙසේ කීවේ ඇගේ පිහාටුවක් ඔසවා හාදුවක් දෙමින්.

“මගේ රන්කඳ, දුක් වෙන්නට එපා. මාත් ඔය පරයා කරන අපරාධ දිහා බලාගෙන සිටියේ කාලයක් පුරා ම. ඒ ගැන නො ඇඟෙව්වේ ඔයාගේ හිතේ දුකක් දොම්නසක් ඇති වේවී කියන බයට. ඉවසුවා ඉවසුවා ඔන්න මගේ ඉවසීම අවසානයි. බලන්නකෝ ඔය අළුගුත්තේරුවට මං කරන දේ.”

“අනේ මගේ දෙයියෝ මං නහකුණු ගෑවට සමාවෙන්න. ඉතිං ඔයාට පුළුවනෑ ඔය පතාරං නයෙකු එක්ක සටන් කරන්නට!”

“මගේ පණ! ඔයා ඒ ගැන සැකයක් සාංකාවක් ඇති කරගන්න එපා! මෙන්න මේ හේතුව නිසා!”

“ධන බලය කුල බලය නිල බලය කියන ඒවට වඩා ලොකු ම බලය තමා බුද්ධි බලය. මෝඩයන්ට අර කී මොන බලය තිබුණත් පලක් නෑ බුද්ධි බලය නැත්නම් අත් වෙන්නේ පරාජය ම යි.

ඉතින් පණේ ඔය කාරණාව සක් සුදක් සේ කියා පාන සිද්ධියත් තමා, මග යන්න ද පණ නැති දිරාගිය සිරුරක් තිබුණු හා-මහල්ලෙකු විසින් මදයෙන් මත් වූ අහංකාරයෙන් පිම්බුණ සිංහයකු මරා දැමීමේ කතාව.” යි කවුඩා කීය.

තම සැමියාගේ උපහැරණය ගැන ඇසූ කැවිඩිය මහ හයියෙන් සිනාසුණා. පත්තට පත්තෙන් ඇන්නේ ‘අනේ නිකං ඉන්න විහිළු නො කර’ කියන්නා වගේ. ඒත් ඔරකොච්චාවට කපුටා දෙස බලා මෙසේ කීවා උසුළු-විසුළු මුහුණක් මවාගෙන:

“හරි හරි කියන්නකො බලන්න හාවාගෙයි සිංහයාගේ පට්ටන්තරේ.” කියා කැවිඩිය කපුටා කිති ගැන්වීමෙන් පසු එය මෙසේ දිග හැරියා.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll