බඩුම තමා ගුහාවේ.
මන්දාරකන්ද සම්පූර්ණයෙන් ම වැසිලා තිබුණේ ඝණ වනාන්තරයකින්. ඔන්න ඔය කලෑවේ රජා ලෙස අනෙක් සතා සිව්පාවුන් බිය වද්දා ගෙන සිටියේ දුර්දාන්ත කියන සිංහයෙක්. මේ සිංහයා මහ එපා කරපු වස පෝරිසාදයෙක්. බඩ කට පුරවා ගන්න නම් කමක් නෑ, තමන්ගේ බලය පෙන්නන්නට ඇසට මුලිච්චි වෙන සිවුපාවන් මරා දමන්නට පටන් ගත්තා. ලොකු පොඩි වයස ගැහැණු පිරිමි කියන මොන භේදයක් ගැනවත් කිසිම තැකීමක් කළේ නැහැ.
මේ අසාධාරණ ක්‍රියාපටිපාටිය නො රිස්සූ වන සිවුපාවන් සමුළුවක් කැඳවා
නොයෙක් තර්ක විතර්ක කර අදහස් යෝජනා ගෙන විශේෂ තීන්දු තීරණ කිහිපයක් ම ගත්තා. එහි
පළමුවැන්න තමා නියෝජිත පිරිසක් සිංහයා හමුවීමට ගොස් සිදු කෙරෙන ඝාතන විනාශය පෙන්වා
දී වනය තුළ සාමය උදා කිරීම. ඒ සඳහා ජාති වර්ග ඇතුළත් වන සේ පූර්ණ බලැති
කොමිසමක් පත් කළා. එම කොමිසමේ ගරු සාමාජික වරුන්ට පැවරුවා සාමය සතුට සදාචාරය උදෙසා
ගත යුතු ක්‍රියාමාර්ග ගන්නටත්, ඒවා කල් නො යවා කඩිනමින් ඉටු කරන්නටත්.
එසේ රැස්වූ කොමිසම දිනයක් වේලාවක් තැනක් නම නියම කරගෙන දුර්දාන්ත
සිංහයා හමුවට ගියේ බලාපොරොත්තු රැසක් පොදි බැඳ ගෙන. ඔවුන් සිංහයා හමුවේ ගරු සම්මාන
පුදා වැඳ වැටී මෙසේ ප්‍රකාශ කළා.
“පස්වාන් දහසකට බුදුවෙන්ට දේවයන් වහන්ස! තමුන්නාන්සේගේ යටහත් පහත්
සුවච කීකරු වැසියන් ගේ මෙම ගැනවිල්ල කරුණා භරිතව අසනු ලැබේවා! ගැත්තන්ට අනුකම්පා
කරනු ලැබේවා!”
“මගේ යක්ෂ සේනාධිපතියා අවුස්සන්නේ නැතුව කියන මළ දානයක් කියව්!” යි
සිංහයා ගෙරෙව්වා.
“බය බෝයි දේවයන් වහන්ස, මේ කැලේ ඉන්න සිවුපාවුන් ගණනක් නැතුව මරා දැමීම ...”