171. හිතෝපදේශය | 04 | වැරදුන කුරුමාණම

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“ඉතින් ඒවා පසුවට තබා ගනිමු. වෙන්නට තියෙන සිද්ධිය ගැන කතා කරමු. ඔයාව කෝටු කෑල්ලක එල්ලා ගෙනයන්නේ අහසේ. හංසයන් දෙදෙනෙකු කරණ ඉබ්බෙක් අහසින් ගෙනයාම පාරතොටේ ඉන්න කොලු කුරුට්ටන්ට ගෑනු මිනිස්සුන්ට පුදුමයක් නො වෙයි ද? ඒකලා අනං මනං නො කියා ඉඳී ද? සිකුරුයි කියනවා. ඔන්න එතකොට අසූහාර දාහට නගිනවා තමුසෙට. කෙරෙන දේ ගැන හාංකවිසියක්වත් නැතුව ඒකලාට බැන අඬ ගහන්න කට අරින්නෙ නැද්ද? හූනා කිව්ව වගේ මං කියන්නං, තමුසෙ අරින එක අරිනවා ම යි කට. එතකොට මොක ද වෙන්නේ? ලබ්බ වගේ ඇද බෑවෙයි බිමට–කුඩේ කුඩු වෙලා යාවි. දැල් කාරයන්ට අහුවෙලා මැරෙන එක සැපතක්. අන්න ඒ නිසා මේ විලේ ම ඉන්නවා හොඳයි. පුළුවන් තරම් උත්සාහ කරනවා පණ රැක ගහන්ට.”

“ඔය ඉතිං පේන බලන්නේ මාව දාල යන්න නෙ. මොකෝ මං ඒ තරම් ම මෝඩයෙක් ද? පාරේ ඉන්න එකාලා ඕන නෙය්යාඩගමක් නටා ගත්තදෙන්. මං කට නො ඇර හිටිය ම අහවරයි නේ?”

හංසයන් දෙන්නා එතනින් එහාට උපදෙස් දෙන්න ගියේ නෑ. හොයාගත්ත හයි හත්තිය ඇති කෝටුවක්. එල්ල ගත්තා ඉබ්බා කොටුවේ. අහසේ පාවෙනවා ගුවන් යානයක් වගේ, හුලං වැදි වැදී වපරැහින් අවට අසිරිය නරඹමින්. හරකුන් පසුපස්සේ යමින් උන්ට තණ කවමින් ගොපලු කොළු රොත්තක් දැක්කා මේ පුදුමේ. මෙපමණ කලක් නො දුටු මේ සිද්ධියෙන් විලම්භීත වූ කොල්ලන් හුරේ දමමින් අහසින් යන උන් පසුපස පන්නන්න පටන් ගත්තා. ‘අනේ අප්පෝ ගාට ගාටා පාරේ ගිය ඉබ්බෙක් අහසින් යන හැටි බලාපල්ලා’ යි අහළ පහළ ඉන්න එකාලටත් ඇහෙන්න දැනගන්නට මොර ගෑවා. ගෙවල් තුළින් ආ ගැහැණුන් හා කෙල්ලන් ද බක බක ගා සිනාසුණා.

“අනේ මේ ඉබ්බා මෙතන ම පතබෑ වුණොත් කරදරයක් නැතිව තම්බාගෙන කන්න පුළුවන්” – කියා එකෙක් කියයි. “ආයෙ තම්බ තම්බ ඉන්නවා, මෙතැන ම පුච්චාගෙන කන්නෙ නැතිව” තවෙකකු කියයි. මේ කතා ඇසුණු ඉබ්බාට නහුතෙට ම නැග්ගා. “මේකලට හොඳවැයින් දෙකක් කියන්න ඕනෑ – මගේ මස් නො වෙයි කාපියව් ...” කියා කියන්නට කට අරින්න හදනකොට ම වැටුණේ ගල්තලාවක් මත. ඉබි කට්ට එක්ක ම සියල්ල සුණුවිසුණු වී ගියා. ඔන්න ඔය නිසා තමයි මං “සුහෘදාං හිතකාමානං” කියා කීවේ.

එම සිද්ධි හේතු එසේ ප්‍රකාශ කරමින් සිටිය දී ඔත්තුකාර කොකා ආවේය. ඔහු රජුට ගරු කර මෙසේ තමන් සොයා ගත් තොරතුරු ඉදිරිපත් කරන්නට පටන් ගති.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll