කකුළු අණ්ඩට බෙල්ල කැඩිලා.
පද්ම ගර්භ කියන විල
තිබුණේ මලය රටේ. ඔන්න ඔය විල ළග හිටියා කොකෙක්. වයසයි. ඇඟපත දුබලයි.
ස්වභාවය සසරට ම කලකිරුණෙකු හා සමානයි. මෙන්න මේ කොකා දැක්කා කකුළුවෙක්. ඉතින්
කකුළුවා ඇසුවා:
“මොකෝ කොකෝ දාහට අරන් සීයට දුන්නා වගේ හූල්ල හූල්ලා ඉන්නේ. කන දේකුත්
නැහැ බොන දේකුත් නෑ. අල්ලාප සල්ලාපයකුත් නෑ. ඇයි හැබෑට ම වෙලා තියෙන නස්පැත්තිය
කීවනම් බලන්න පුළුවන් හැටියට මාත් උපකාරයක් කරන්නම්!”
“ආයුබොවන්ඩ, කීවහම මොක ද මාත් ඉතිං යැපෙන්නේ මාළු නිසානෙ. ගිරහ
දෙය්යා නීච වෙලා ඒකටත් ඇටවෙන්නයි යන්නේ.”
“ඔන්න ඉතිං කියන්න ඇති උලව්වක් කෙළින් නො කියා, වට වංගු ගහන්ට පටන්
ගත්තා. මෙන්න මේකයි කියලා කෙළිං කියහන් ලොක්කෝ!”
“හරි හරි තරහා ගන්න කාරි නෑ–මේ කියනවා මේ කියනවා.” කියා උගුරේ
රැල්-බුරුල් හැර සිද්ධිය මෙසේ අනාවරණය කළා:
“මං ඊයේ උදහනැක්කේ ම ගියා නගරය පැත්තෙ. ඔය මොනවා නමුත් කොටා බාන්ඩ
දෙයක් හොයා ගන්නම් කියලා. මොකෝ ඉතින් ඉගිහිල්ලා ගිහින් මොකෙකු නමුත් අල්ලා ගන්ඩ
කියලා හය් හත්තියක් තියන එකක් යැ. කීවහම මොකෝ ඉතින් නගර මායිමේ තියෙන ලොකු නුගගහ
ළඟ කපනවා මාළු ඔය ධීවර කාර්මිකයින් ද මොකුන් ද කියන එකාලා. කපා ඉවතට දමන අඟුටු
බඟුටුවලින් කෑ හැකි කෑලි බෑලි හොය හොයා මාත් කනවා. මගෙ සීවරන් දෙය්යනේ, මෙන්න
මෙහෙම කියනවා එතන හිටපු බඩ තඩියෙක් අතේ තිබුණ මන්නය වන වනා –
“ඒයිලා, තව දෙපෝයක් ගත වෙන්ට කලින් දැන් මාළු අල්ලන වැවේ ඉන්න මාළු කම්මුතු වෙන්න පුළුවන්. කෙමනටත් නෑ කරකටත් නෑ දැලටත් නෑ බිලියටත් නෑ. තව හත් අට දොහකින් වැව ම පෙරං ගාන්නයි වෙන්නේ.”