“අඩේ ගොං නාම්බා, තෝ දමල ගියොත් අනිත් උන් කියාවි ‘අරං ගිය එකා නාවේ
මෙලහකට මූ කාලා; අපි මෙතැන ම මළත් යන්නේ නෑ’ කියලා. ඒකෙන් මේකෙන් නරක නාමෙ මට,
හොඳක් කරන්න ගිහිල්ලා. ඒක හන්දා වරෙන් යන්න. උඹ ගිහින් අනිත් එකාලට වරුණේ කියහං. ඒ
ගමන් ම උඹත් එක්ක එන්නම්.”
“ඒකත් හරි තමා.” යි කී මාළුවා කොක් හොටේටට මැදි වුණා. ගුවන් ගමන
කෙළවර වුණේ හිටපු විලෙන්. විලේ සිටි උන් ඌව වට කර ගත්තා; ඇහුවා වංහුං. කීවා එක දෙක
කරල. දැන් පොරේ විලට යන්න. එක එකා අටවනවා නෑදෑකම්. ‘මාමේ’ කියන උන් කොටසයි,
‘බාප්පේ’, ‘හූරේ’, ‘මස්සිනේ’, සමහර උන් ‘තාත්තේ’ කියාපි.
“හා හා ඇති උඹලගෙ කං කරච්චල්. වරෙන් පැටියො උඹ ම යන්න. එහේ ගිහින් මේ
එන අයට ඉන්ට-කියන්ට සුදුසු තැනත් උඹ ම නියම කරහං.” කියා තබා ගත්තා හොටේ. ගියා ගල්
තලාවකට. “කොහෙදෑ මේ ආවේ?” කියා මාළුවා ඇහුවා.
“උඹට නේ ප්‍රශ්නෙ තිබුණේ. ඔන්න හැම ප්‍රශ්නෙකට ම උත්තර.” කියා, කටු
ඇරලා මස් ටික කෑවා. ඔය විදියට එදා දවස තිස්සෙ ම බඩ පිරෙන තෙක් ගෙනා මාළු කෑවා.
කටු-බටු මුල්ලකට දැම්මා. ඔය ආකාරයට කාගෙන කාගෙන ගියා. කොහෙන් කොහොම හරි මාළු ටික
කම්මුතු වුණා.
ඔය විලේ හිටියා කකුළුවෙක්. මහා නැඩය. මාළු ටික ගිල්ලා. කථාටවත්
කවුරුත් නෑ. ඒ වංගියේ කකුළුවත් කියාපි “අනේ මාමේ මාවත් අරන් පලයන් කෝ; මේකේ
තනියෙන් මටත් ඉන්න බෑ නේ” කියා. උපන් හදවියකට කකුළු මස් නො කෑ තමන්ට ඒ අග්‍රභෝජනයත්
ලැබෙනු ඇතැයි සිතූ කොකා, කකුළුවා ගෙන ගියා පුරුදු ගල් තලාවට. තැබුවා බිම. කකුළුවාට
දෙවියන් සිහි වුණා. දැක්කා මාළු කටුගොඩ. තමන්ටත් වෙන්නෙත් ඒසෙතේ ම යි කියා හිතාගෙන
කල්පනා කළා:
සතුරන්ට මැදිවුණ මොළකාරයා තමන්ට කිනම් හෝ යහපතක් නො සිදුවන බව
දුටුවත් කරන්නෙ සතුරා සමඟ සටන් කර මිය යාමයි. සතුරා සමග යුද්ධ නො කළොත් ඒකාන්තයෙන්
ම මරණය. සටන් කොළොත් මැරෙන්නටත් පිළිවන්, දිනන්නටත් පිළිවන්. ඒ නිසා ඥානවන්තයන්
කියන්නේ අමුඅමුවේ මැරෙනවාට වඩා සටන් කර දිනුම හෝ පැරදුම ලබා ගැනීම යෝග්‍ය බවයි.
කොකා සූදානම් කකුළුවා කන්ඩ. ඌත් අතෑරියේ නෑ, අඩුබඩුවලින් එල්ලුණා
කොකාගෙ බෙල්ලෙ. මෙහෙම කීවා:
උඹට ජීවත් වෙන්න ආසාවක් තියේනම් මාව අරන් යමන් උඹ කී විලට. නැත්නම්
කඩනවා බෙල්ල දෙකට.”
බය වුණා කොකා. ගියා විලට.
විල් ඉවුරේ තැබුවා කකුළුවා. ඒත් තවමත් කොකාගෙ බෙල්ල හිර වෙලා. මර බයේ කොකා. ඒ නිසා
මෙසේ කීවා:
“මං විහිළුවක් කරන්ඩ හැදුවේ මස්සිනේ. ඔය තියෙන්නෙ විල, අතෑරපත් මගේ බෙල්ල.”