“රැකෙන්නට නම් උපායක් තියෙනවා!”
“අනේ දෙයියෝ කියන්ට කියන්ට හැබෑට ම මොකක් ද ඒ උපාය?!”
“කලබල නොවී අහගනිල්ලා කෝ. මෙන්න මේකයි, වතුර ඇති වෙන විලකට යාම!”
මාළුවන් උඩ පිනුම් - යටි පිනුම් - බඩ පිනුම් ගසමින් එම යෝජනාව
පිළිගත් අතර, එහෙත් එක් මාළුවෙකුගේ සිතෙහි සැකයේ සේයාවක් කොණකින් ඇඳෙන්නට පටන් ගෙන
තිබිණි. ඒ හෙයින් ඔහු මෙසේ ඇසුවේ සහසුද්දෙන් ම කරුණු දැන ගන්නා අටියෙනි.
“යෝජනාව නම් පංකාදු පහයි. ඒත් ප්‍රශ්න කිහිපයක් ම තිබෙන නිසා ඒවාත්
නිරාකරණය කර ගත්තොත් තමා හොඳ. මේවා විශ්වාසයකට හරි වැඩ කඩාකප්පල් කරන්න හරි මගේ
ලොකුකමට නැත්තං බුද්ධිය පෙන්නන්න හරි අහන ප්‍රශ්න නො වෙයි.”
“ඔව් ඔව් ඔව්! මුලින් ම ප්‍රශ්න විසඳහා ගෙන ඉන්ට එපායැ ලොකු වැඩකට අත
ගහනකොට. අහපං මගේ අප්පා අහපන්. දෙන්නම් උත්තර. ඒක කාට කාටත් ඇඟට ගුණදායක දෙයක් නො
වෙන්නම්.” යැයි කොකා පැවසුවේ ‘දෙන්නම් පුතේ හා හා පුරා කියා උඹට බැටේ’ කියන අදහස
ඇතිව.
“පළමුවැනි ප්‍රශ්නය ගන්නව ද?”
“ඔහු අහනවා බලන්න!”
“මේ විලේ ඉන්න අපව ඒ විලට යන්නේ කොහොම ද?”
“කාලෝචිත ප්‍රශ්නයක්! කවුරුත් ම ඒ ගැන හිතුවේ නෑ. මේ විලෙන් ඒ විලට යන්නේ
මගේ මේ තුඩු දෙකට හිර වෙලා.”
“පැහැදිලියි, දෙවන ප්‍රශ්නය: ඔය කියන විදිහේ විලක් ඇති බව අපි දන්න
එකක්යැ. විලකට යනව ද නො එන ගමන් යනව ද කියල කවුද් දනු!”
“වැදගත් ම ප්‍රශ්නය ඒක. තමුන් ම එනවා මාත් එක්ක පොඩි සවාරියක් ගහලා
එන්නට.” යි කී කොකා ප්‍රශ්න කළ මාළුවා නො රිදෙන සේ කටින් ඩැහැගෙන ගියා අසල ඇති
විලකට. විල් ඉවුරේ මාළුවා තබා මෙසේ කීවා: “යනවා වටේට ගිහින් බලා කියා ගෙන සුටුස්
ගාලා එනවා. අනිත් එකාලත් ගේන්ට එපායැ.” කියා. මාළුවාට ආසාවෙ බෑ. ඒක තමා විල. නාඹර
ගැටිස්සියන් ඕලු නෙළුම් මානෙල් පඳුරු අස්සෙ ඉඳන් එබිකම් කරනවා. වටයක් ගිය ඔහු ආවා
විල් ඉවුරට. මෙන්න මෙහෙම කීවා කොකාට:
“අනේ මාමේ මං ඉන්නං. ගිහින් අනිත් අයත් එක්ක ගෙන එන්ට!”