“කීවත් වගේ මාත් කරන්නේ මචං විහිළුවක්. උඹේ විහිළුව දැක්කා නො වැ ගල්තලාවේ
කටුගොඩෙං. උඹ මහා විශ්වාස ඝාතකයෙක්. තවත් ජීවත් වුණොත් සිය දහස් දෙනාට විහිළු
කරාවි. මදැයි කොලා විහිළු. දැන් පලයන් නරකාදියට!” කියා කතුරකින් වගේ කැපුවා බෙල්ල
අඬුවලින්. මොක ද වුණේ? වුණේ ඉතින් කොකා මළා.
ඔන්න ඔය කාරණාව නිසා තමා මං කීවේ; “භක්ෂයිත්වා බහූන් මත්ස්‍යාන්”
කියන ආප්තය.
කතාව අසා සිටි චිත්‍රවර්ණ මෙසේ කීවේය:
මේඝවර්ණ, මා කියන
දේ මනාව අසා දැනගන්න. කර්පූර දේශයේ කොච්චර ද වටිනා කියන වස්තු තියෙන්නෙ,
ඒවා සියල්ලක් ම චිත්‍රවර්ණ රාජ්‍යයට ගෙන ආ යුතුයි. ඒවා පරිහරණය කරමින් ද වින්ධ්‍යා
පර්වතයෙහි අපි සුවසේ කල් ගත කරමු. ඒක තමා මගෙ පරම අභිලාශය!
රජුගේ කතාව ඇසූ දූරදර්ශී ඇමති සිනාවක් පළ කරමින් මෙසේ කීවා:
දේවයන් වහන්ස,
කවුරුන් හෝ අනාගතය ගැන නොයෙක් සිතුම් සිතා, පැතුම් පතා ඉඳ; අතිරේකව
ලැබෙන දෙයකින් සොම්නසක් පළකරන්නේ නම්, කෑම සොයා ගන්නට උපකාර වුණ පාත්‍රය බිඳුණ
බමුණා වගේ පත් වෙන්නේ නින්දාවට.
“ඔන්න ඒ වංගියේ තවත් අටමඟලක්, හැබෑට ම මොකක් ද ඔය බිඳුන උඩැක්කිය?” යැයි රජු ඇසූ සඳ, දූරදර්ශී එම කතාව මෙසේ ගොනු කළා: