179. හිතෝපදේශය | 04 | වළං ටිකත් කුඩේ කුඩු

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

වළං ටිකත් කුඩේ කුඩු. 

දේවශර්මා යන නමින් හැඳින්වුණ බ්‍රාහ්මණයෙක් හිටියා දේවිකෝට්ට කියන නගරයේ. රැයත් දවාලත් එක සමාන වූ දවසක දේවශර්මාට ලැබුණා අග්ගලා පිරුණු තලියක්. තලිය අතැති බමුණා රැය පහන් කරන්නට හිතා ගෙන, වළං හදන කුඹල් කාරයෙකුගේ මැස්සකට ගොඩ වුණා. තලියේ තියෙන අග්ගලා ටික රැක ගන්නට ඕනෑ. ඒ නිසා පොල්ලක් අතට ගෙන මෙහෙම කල්පනා කළා:

මං මේ අග්ගලා බඳුන විකුණලා තුට්ටු දහයක් හොයා ගන්නවා. ඒ මුදලෙන් මේ වළං මිල දී ගන්නවා. ඒවා විකුණා පුවක් රෙදි පිළි ආදිය මිළට ගෙන විකුණනවා. ඔය ආකාරයට කරන වෙළඳාමෙන් මට ලැබෙනවා ධනය ලක්ෂ ගණනක්. මුදල් හදල් තියේනම් ගැහැණු ද පංචං, කරගන්නවා විවාහ හතරක්. ඒ හතර දෙනා අතුරෙන් රූපලාවණ්‍යයෙන් අගතැන්පත් බිරිඳට ඉතා නො සෑහෙන්නට ආදරය කරනවා. ඒකට අනිත් එකීලා තුන් දෙනා විරුද්ධ වේවි සපත්නී රෝෂයෙන්. මොකෝ මං කණා බීර වගේ බලා ඉන්ට ද? මගේ ලාවණ්‍යායට අරියාදු කරනකල්. ‘දීලා අදිනවා පොල්ලෙන් අනික් එකීලට මෙන්න මෙහෙම’ කියා දමා ගැසුවා පොල්ල. එයින් අග්ගලා පාත්‍රයත් කුඩු; කුඹලාගේ හැළි වළනුත් කෑලි බෑලි.

හැළි වළං පෙරළෙන කැඩෙන බිඳෙන සද්දේ ඇහුණා නිදාසිටි කුඹලට. ආවා මැස්සට. දින ගණනක් තිස්සේ වෙහෙස මහන්සි වෙලා හදාගත්ත හැළි වළං කොරස් නෑඹිලි මුට්ටි වලට සිදුවී ඇති විනාශය දැක බලු බැණුම් බැන බමුණා පන්නා ගත්තා මහරෑ ම හතර හීමාවෙන්. අන්න ඒ නිසයි මං “අනාගතවතීං චින්තාං” යන්න කීවේ.

“මගේ ගිජුලිහිණි දරුවා, ඉතින් මං දැන් මොනව ද කරන්න ඕනෑ?” යි රජු අසා සිටියා රහසින්.

ගිජුලිහිණියා එවිට මෙසේ කීවේය:

මද වැගිරීමෙන් පිස්සු වැටුණු අණ නො පිළිපදින ඇතාගේ ගොව්වන් මෙන් අහංකාරකමින් උමතු වූ නීතිය රීතිය නො සලකන රජුගේ උපදේශකයෝ වූ අනිවාර්යෙන් ම අප්‍රශංසාවට ලක් වෙති.

“දේවයන් වහන්ස, මා කියන්නක් අසනු මැනව. අප ද සතුරු බලකොටුව බින්දේ? ඔබ වහන්සේගේ තේජසින් වගේ ම තැනට සුදුසු සේ දෙන ලද උපදෙස් වලින්.”

“නැහැ සේනාපති, ඔබගේ උපායවලින්.”

“එසේනම් මා කියන්නක් ඉටු කිරීමයි කළ යුත්තේ. දැන් කරන්න තියෙන්නේ අපේ දේශයට යාමයි. ඉදිරියට එන්නේ වැහි කාලය. නැවත සටන් පටන් ගත්තොත් සතුරු දේශයෙ සිටින අපට ගම් රටවල් බලා යාමට හැකි වන්නේ නැහැ. අපේ ජයග්‍රහණය එසේ ම රැකගෙන නම්බු පිටින් යාමයි සුදුසු. පර සතුරාගේ බලකොටුවත් බලයත් සහමුලින් ම විනාශ කළා. එයින් ලද කීර්ති අප්‍රමාණයි. මගේ තීරණය නම් ඒක තමා. ඊට හේතුව මේකයි:

තමන්ගේ රජුගේ කැමැත්ත එකක්. නමුත් විය යුත්තේ අනෙකක්. නමුත් සේනාපතියෙකුගේ අනුගමනය කළ යුතු නීතිරීති තියනවා. ඒවා ක්‍රියාත්මක කරද්දි සමහර විට රජුගේ කෝපයට හේතුවක් වෙන්න පුළුවන්. නමුත් සැබෑ තත්ත්වය පහදා දෙන පුද්ගලයා තමා ශ්‍රේෂ්ඨයා. සටනට යන්නා කරන්නේ මිතුරන්, බල සේනා, සහ තමන්ගේ කීර්තියත් පරදුවට තැබීමයි.

සටනක දී ජය ගැනීම සැක කටයුතු දෙයක්. එනිසා තමන් හා සමාන වූවන් සමඟ වුවත් සමගි සන්ධානයකට පැමිණීමයි වඩා හොඳ. එසේ නැතිව සැක සහිත දෙයක් නො කළ යුතුයි යන්න තමා සුරගුරුන්ගේත් උපදේශය. සටනක දී සතුරාය මිතුරාය කියා වෙනසක් නැතිව විනාශයට පත් වීමයි ස්වභාවය. සුන්දඋපසුන්ද කියන අසුරයන් දෙදෙනාට ම තිබුණෙ සමාන බලයක්. මොකෝ වුණේ අන්තිමේ දී? දෙන්න ම ඇණ කොටා ගෙන විනාශ වුණා.

“අඩ්ඩඩ්ඩාරේ මොකක් ද අප්පා ඒ කතාව?” යැයි රජු ඇසූ කල්හි, අමාත්‍ය ගිජුලිහිණියා එය මෙසේ හෙළිදරව් කළා:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll