මදයෙන් මත් වූවන්, පමාවට ලක් වූවන්, පිස්සන්, වෙහෙස මහන්සියට පත් අය,
ඉවක් බවක් නැතිව කිපෙන්නා, බඩගිනි කාරයන්, ලෝභයන්, බියට පත් අය, වැඩ අවුල්
කරගන්නා, කාමුකයා කියන අය මෙයයි ධර්මය මෙයයි නීතිය කියා නො සලකන පිරිසක්.
අවස්ථාවත්, අවස්ථාවට උචිත නීතිරීතිත් සිහිපත් කරමින් කොටියා -
සිවලා - සහ කාක්කා යන අය බලාපොරොත්තු සහිතව සිංහයා වෙත ගියෝය.
බඩසයින් පෙළෙමින් සිටි සිංහයා බලාපොරොත්තු රැසක් සිතේ රඳවාගෙන මෙසේ ඇසීය:
“මට නම් හුස්මක් කටක් ගන්නවත් තරම් පණක් නැහැ. ඇඟපත සට සට ගා
වෙව්ලනවා ක්ෂුධා ගින්දරේ වැඩිකමට. මට කෑමට මොකුත් ලැබුණ ද? ගෙනාව ද?”
“මොන! නායකතුමෝ අපිත් ඉතිං දන්නා දන්නා දහං ගැට ගැහුවා. කෝ හූනු
බිජ්ජක් තරම් දෙයක්වත් ලැබුණේ නැහැ නො වෑ.”
“වළාමේ දැන් පණ යන්ටයි එන්නේ, අහවල් දෙයක් ද කරන්නේ?”
“නායකතුමා හුන් පොළට වැටුණ නිසා තමුන්නාන්සේත් අපත් වැටුණේ නරකාදියක.
අපිත් ඉතින් හෙව්වා බැලුවා ම තමා. මේක නම් මහ සෙනසුරු අපලයක් කියලයි මට නම්
හිතෙන්නේ.” යි කාක්කා කිව්වේ ශෝකභරිතව හිස පහතට යොමා ගෙන.
“ඉතින් දැන් කොහොමෙයි කන්නට යමක් හොයා ගන්නේ? මට පුළුවන් කාලේ උඹලට
බඩගෝස්තරය සරි කර දුන්නේ මං නො වැ.”
“කපුටා හීං සීරුවේ සිංහයාට ළංව කණට කර රහසින් මෙසේ කීවේය:
“චිත්‍රකර්ණ!”
සිංහයා බිම අත තබා සිය දෙකන් අත ගෑවේය. ඉන් අනතුරුව මෙසේ ද කීවේය:
“මොනවද ඔය කියන කතා! අපි චිත්‍රකර්ණ රඳවා ගත්තේ නො මරණ බවට
අභය දානය දීලා බව අමතක ද? ඔය උලව් කතා නවතා ගනිල්ලා. ඇයි නිකමටවත් අහල නැද්ද මේ
කියමන:
යමෙකුට ගම්බිම් දීම ලොකු දානයක් නෙ වෙයි. රන්-රිදී දීමත් දන්දීමත් සේ
සලකන්නේ නෑ. ගව මහීෂාදීන් පිනට දුන්නත් ඒකක් දානයක් නො වේ. ආහාර පාන වර්ග දීමත්
දානයක් ලෙස උගත් බුද්ධිමතුන් සලකන්නේ නෑ. එසේ නම් සැබෑ ම දානය කියා කියන්නේ
අභයදානය දීමයි.
ඔය ගැන මෙහෙම අධිකරණ පසිඳනාවල දී දක්වා තිබෙනවා: