191. හිතෝපදේශය | 04 | චිත්‍රකර්ණ බ්‍රහ්මත්වයට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“කතා කරන්න එපා, ඒක වෙන්නැති දෙයක්.” යැයි නැවතත් සිංහයා සිවලාට කීවේය.

“මේ සිවලාගේ කන්න තියෙන්නෙ අහවල් දෙයක් යෑ? මගේ සිරුර විශාලයි. සතියකට හමාරකට ඇති. කරුණාකරලා මාව කා දමන්න. මට බ්‍රහ්මත්වයට පත් වෙන්න අවස්ථාවක් ලබා දෙන්න.” යි කොටියා කියා සිටියේ වැඳ වැටෙමින්.

“එපා! එපා!! මට අවශ්‍ය නෑ. මරණය ඊට වඩා හොඳයි.” කියා සිංහයා කොටියා ගේ ආයාචනයට ප්‍රතික්ෂේප කළේය.

ඊළඟට ඉදිරිපත් වූයේ චිත්‍රකර්ණ ඔටුවා. ඔහු තම ආයාචනය කරමින්:

“අනේ තමුන්නාන්සෙගෙ ජීවිතය රැක ගැනීම සඳහා මගේ සිරුර පිළිගන්න .... හොඳයි.” කියන වචනය කියන්නටත් පෙර, ඔටුවා මතට පැන්න කොටියා ඔහුගේ බඩ පලා දැම්මේය. සිංහයා ඇතුළු සියල්ලෝ ම ඔටු මාංශයෙන් සන්තර්පණය වූහ.

ඔන්න ඔය කාරණය නිසා තමයි මං “මතිර්දෝලා යතේස්‍යම්” යන්න පැවසුවේ.

එළුවා කරට ගෙන ගිය බමුණාට දෙවැන්නාගෙනුත් කියැවුණ බලු කතාවෙන් හිත සසල වෙමින් තිබියදීත් තෙවැන්නෙකුත් දැකගන්නට ලැබුණි. ඔහු බමුණාට වටා තෙවරක් ගොස් අත් කම්මුලට ගෙන නැගුවේ අදෝනාවකි:

“අඩේ මේ වගේ දෑසට නො පෙනිය යුතු දේවල් දක්වන පාලකයන්ට හොඳක් වෙයි ද? හැබෑට ම මොන මැති ඇමතියා ද බල්ලෙකු කරගහගෙන යන්නට කීවේ? මොකක් ද බ්‍රාහ්මණතුමා කළ රාජ අපරාධය? පව් අප්පා, බලහල්ලකෝ දාඩියත් දාලා මේ බලු ගෙඩියා කර ගහගෙන ඇවිත්. තමුන්නාන්සේට යන්ට ඕන තැන කියන්න හොඳයි, මංවත් ඔය බලු තඩියා අරගෙන එන්නම්. පූජකයෙකුට උදව් කිරීම පිණක් නිසයි මම එහෙම කියන්නේ. නැතිව මේ බලු බල්ලාව කරේ තියාගෙන යන්න ආසාවක් එහෙම නො වෙයි.”

තමන් කරගසා ගෙන යන්නේ එළුවෙකු නොව, බල්ලෙකු බව තිදෙනෙකු විසින් ම එකහෙළා කිය ලද බැවින්, තමන් පත්ව ඇති මුළාව ගැන කල්පනා කර එළුවා බිම තැබුවේය. වතුර කඩයකට ගොස් දිය නා සිරුර පවිත්‍ර කර ගත්තේය. යාගය ගැන නො සිතා තම නිවසට ගියේය.

බමුණා යන්නට හැර එළුවා බැඳගත් කපටියා සෙසු දෙදෙනා වෙත ගොස් එළු මසින් සන්තර්පණය වූහ.

මෙම කතාව අසා සිටි චිත්‍රවර්ණ රාජයා ප්‍රශ්න කළා මේඝවර්ණ කපුටාගෙන් මෙසේ:

“ඈ... මේඝවර්ණ, කොහොම ද නුඹ සතුරන් මැද බොහෝ කාලයක් ජීවත් වුණේ? කොහොම ද ඒ අයට යටහත් පහත්ව සිටියේ?”

“දේවයන් වහන්ස! ඒක ඒ තරම් හිතන්නට තරම් දෙයක් නො වෙයි. තමන්ගේ නායකයා වෙනුවෙන් හරි තමන් සඳහා හරි මොකක් ද අප්පේ කරන්නට බැරි? ඕනෑම දෙයක් කරන්නට හැකියි. ඇයි දේවයිනි, මේ කියලා තියෙන්නේ අපූරුවට පුරාණ නීති පොත්වල සිද්ධ කරන දේත් සිද්ධ සිද්ධ වෙන දේත්:

උයා පිහා ගන්නට ලිපට දාන දර මිනිසුන් ගෙන යන්නේ සිරසේ තබා ගෙන. ගලන ගඟේ හැඩ පහරින් ගංඉවුර ඇති ගස්වල මුල් සේදෙනවා. ගිනි ගන්නා දරයි, ගලන වතුරයි එපා කියා ඉවත ලන අයෙකු මේ ලෝකයේ සිටිනවා ද?

දේවයිනි, මෙන්න මේකත් ඔය සිද්ධියට ම අදාළ දෙයක්:

වයසට ගිය සර්පයකු ගෙම්බන් විනාශ කළා වගේ කිසියම් වැඩක දී අවශ්‍යතාවය අනුව සතුරා වුවත් කරෙන් උසුලාගෙන යන්නට සිදු වෙනවා. නිසි පරිදි අනාගත සැලැස්මක් ඇති කරගැනීම පමණයි කළ යුත්තේ.

“මොකක් ද මේඝවර්ණ සර්ප කතාව?” කියමු බලන්න ඒකත් බලාගන්න බැරියැ කොහොම ද කියලා.

මේඝවර්ණ එම කතාව මෙසේ හෙළි කළා:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll