193. හිතෝපදේශය | 04 | නයා සහ මැඩියන්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ලෝකය තුළ දේශ දේශාන්තර පාලනය කළ රජුන් දහස් ගණනක් මළ බවට සාක්ෂි කියන එක ම පුද්ගලයා තමයි මහ පොළොව. මොකෝ තම භූමිය පාලනය කළවුන් මළැයි කියා පොළොව හඬා වැටුණ ද? සේනා බලඇණිවලින් සුසජ්ජිත රජුන් කොහේ ගියා ද කියා කවුද දන්නෙ?

තවත් කියන්නම් කරුණු කාරණා මෙන්න අහගන්නවා:

මෙලොව උපන් හැමට ම මරණය නියතයි. මළවුන් නැවත උපදින්නේ යයි ද කියනවා. කොහොම නමුත් උපන් හැමට ම අද ද හෙට ද වෙනසක් නෑ, අවුරුදු සීයයක් ගියත් මරණය උරුම ම යි.

මෙන්න මේකත් ඔය ගැන ම තමා කියන්නේ:

අපේ මේ ශරීරය දිනෙන් දින විනාශයට පත් වෙනවා. තියෙන හැම සම්පතක් ම විපත්වලට භාජන වෙනවා. එක් වුණොත් වෙන්වීම එතැන ම යි. ඇතිවෙන සියල්ලක් ම නැති වෙනවා–ඒක ලෝකෙ ස්වභාවයයි. අපේ ශරීරය ඇසිල්ලක් පාසා ම ගෙවී යන දෙයක්. එය පියවි ඇසට නො පෙනෙන්නක්. පෙගෙන්නට වතුරට දැමූ අමු ධාන්‍ය පුපුරා මුල් ඇද පිටතට යන්නාක් වගෙයි. හිස ගසා දමන්නට වධක භූමියට ගෙන යන අපරාධකරුට තබන පියවරක් පාසා දංගෙඩිය ළං වෙන්නාක් මෙන්, උපන් හැමට ම ගතවෙන දිනයක් පාසා ම මරුවා ළං වෙනවා.

තරුණ බව, රුව ලස්සන, ජීවිතය, ධනය රැස්කිරීම, ඉසුරුමත් බව, ප්‍රියයන් හා එක් වීම යන කරුණු නිත්‍ය ඒවා නො වෙයි. නුවණැත්තා ඒ ඒ දේවල් යථා තත්ත්වය වටහා ගෙන මුළාවට පත් වෙන්නේ නැහැ. අපි කරන්නේ සංසාරයේ ඇවිදීම. සංසාරය වූ කලී මහා සමුද්‍රය වගේ. සමුද්‍රයට වැටුණු ලී දෙකක් කවදා හෝ එකට එක් වන්නට–ගෑවෙන්නට පිළිවන්. එසේම ඒ ලී දෙක ඊළඟ රැල්ල වැදී වෙන් වීම පමණක් නො ව ඈතින් ඈතට පාවී යාවි. අන්න ඒ වගේ තමා සත්වයන් වන අපේත් එක් වීම මෙන් ම වෙන්වීම.

මාවතක ගමන් කරන්නෙකු මහන්සිය නිවා ගන්නට ගස් සෙවණක වාඩි වෙනවා. ඔහු සදාකල් එතන සිටිනව ද? නෑ–විඩාව සංසිඳුවා ගෙන නැවත ගමන් අරඹනවා. සත්වයන්ගේ දිවි පැවැත්මත් ඒ ආකාරයට ම යි. ශරීරයක් නිර්මාණය වෙන්නේ පඨවි - ආපෝ - තේජෝ - වායෝ -ආකාශ යන පංච මහා භූතයන්ගේ සංකලනයෙන්. පුද්ගලයෙකු මිය යාමෙන් අනතුරුව ඒ භූතයන් වෙත ශරීරය විසිරී යනවා. ඉතින් ඒ ගැන දුක් වෙලා පලක් තියෙනව ද?

සෑම සත්වයකු ම සිතට ප්‍රිය උපදවන දේවල් ම යි කරන්නේ. දුෂ්කරතා මධ්‍යයේ ලබා ගන්නා එම ප්‍රිය දේවල් නැති වේය යන ශෝකය උල් බවට පත්වී නිතර හදවතට වේදනා දීම ස්වභාවයක්. කිසිම විටෙක කිසිවෙකු සමග දැඩි සම්බන්ධතා ඇතිකර ගත නො හැකියි. තමන්ගේ සිරුර සමඟ වුවත් නිසි සම්බන්ධතාවයක් පවත්වාගෙන යා නො හැකි වෙද්දී, අනුන් ගැන කතා කිරීමෙන් පලක් තියේ ද? උප්පත්තිය වළකා ලිය නො හෙන සිද්ධියක්. එහෙත් ඒ උපතත් සමඟ ම මරුවාද උපදී. ඒ උපත සමග සිදුවන මරුවාගේ එකතුව සෙස්සන්ට ලබාදෙන්නේ ශෝකයක්; දුකක්. ආසාවෙන් භුක්ති විඳිනවා. එහෙත් එය අපත්‍ය ආහාරයක්. එයින් ලැබෙන විපාකය අතිදරුණුයි. ඒ ඒ අවස්ථාවල දී මෙය ප්‍රියයි මනාපයි කියා නොයෙක් දේ ලබාගන්නවා; වැළඳගන්නවා. නමුත් එයින් ලැබෙන ප්‍රතිඵලය විනාශකාරීයි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll