මාධව බමුණා එනු දුටු මුගටියා තම හපන්කම පෙන්වීම උදෙසා ලේ තැවරුණු කට
සහ අත් පා සහිතව ඔහු වෙත ගොසින් පා ළඟ වැතිරුණා. “මේකා මගේ දරුවා කාලා නො වැ – තෝව
ඉතුරු කරන්නෑ” කියමින් වැටෙන් පොල්ලක් කඩාගෙන ’විත් දරුකමට හදාගත් මුගටියාව පහර දී
මරා දැම්මා.
මාධව දුවමින්
අවුත් දරුවා දැක ගති. ඔහු සුවයෙන් සිටින’යුරු දුටු බමුණා අවට පිරික්සද්දී දුටුවේ
බාගෙට කා දැමූ නයාගේ සිරුරයි. තමන් මුගටියා මරා දැමීමෙන් කළ වරද සිහියට නගමින්
මාධව අප්‍රමාණ ලෙස දුක් විය. මෙවැනි සිද්ධි වෙනුවෙන් පුරාණ වාක්‍යවල සඳහන් වෙන්නේ
මෙලෙසිනි:
කම් සුව විඳීමේ ආශාව, සොයා නො බලා කෝපවීම, මෝඩකම, වස්තු ආශාව, උඩගු
බව, මත් වීම යන සය වැදෑරුම් ක්‍රියා අත්හළ යුතු ඒවා වේ. එසේ අත් හරින්නා සැපයට
පැමිණේ.
“මන්ත්‍රී, ඔබ ඔය කීවේ ඔබේ නිගමනය ද? යැයි රජු ප්‍රශ්න කළේය.
“එහෙමයි දේවයිනි!” කී දූරදර්ශී ඊට තුඩුදෙන හේතු නීතිය අනුව
මෙසේ විග්‍රහ කළේය:
යම් දෙයක සැබෑ තත්වය දැන ගැනීමෙන් බුද්ධිය, විමර්ශන ඥානය, ඤාණයෙන් ම
තීන්දු තීරණ ගැනීම ද ගත් තීරණ ක්‍රියාත්මක කිරීමේ උනන්දුව සහ රහස් රැක ගැනීමේ
ශක්තිය යන කාරණා ඇත්තන් ඇමති ගුණයෙන් යුක්ත වූවෝ වෙති.
එසේ ම මෙසේත් එම සිද්ධිය තහවුරු කෙරෙනවා:
කිසියම් ක්‍රියාවක් හිතු මතයේ හදිස්සියෙන් නො කළ යුතුය. සොයා නො
බැලීම විවිධ විපත්වලට හේතුවකි. ගුණවත්කමින් යුතු විමසා බැලීම කරණ තැනැත්තා තමන්
විසින් ම රැක ගනියි කියන මෙන්න මේ හේතු යුක්තිවල පිහිටා මා කියන්නක් කරන්නේ නම්,
දැන් කළ යුතු හොඳ ම උපායශීලී බව නම් හිරණ්‍යගර්භ රජු සමඟ සමගි සන්ධානයකට
යාමයි. කළයුත්ත නිසි පරිදි ඉටු කිරීම සඳහා උපායන් හතරක් යුද්ධ නීතිය දක්වා ඇත.
ඒවායෙහි ඵලයන් සංඛ්‍යාත්මක වීම පමණකි. කාර්ය සිද්ධිය උදෙසා කළ යුත්තේ සමග වීම
පමණක් බවයි දැක්වෙන්නේ.
“ඉතින් ඔබ ඔය කියන සමගිය කවදා ද සිදුවෙන්නෙ?” රජු විමසූ කල, දූරදර්ශී
ඇමති එය වහා ම සිදුවෙන බව පළ කළේ නීතිමය ආප්තයක් ඉදිරිපත් කරමින්:
පහසුවෙන් ම සතුටු කළ හැක්කන් තමා මෝඩයන්. විශේෂඥ දැනුම ඇත්තා සතුටු
කළ හැක්කේ කරුණු කාරණා කියා අපහසුවෙන්. බුද්ධිය නැති හිතුවක්කාරයා මහා බ්‍රහ්මයාටවත්
පහදවන්නට බැහැ.
“දේවයන් වහන්ස විශේෂයෙන් ම හිරණ්‍යක රජතුමා සුවිශේෂී ධර්‍මඥානයක් ඇත්තෙක්. එපමණක් නො ව ඇමතිතුමාත් සියල්ල දත්තෙක්. ඒ බව මං දැනගත්තේ මේඝවර්ණගෙ කීම්වලින් වගේ ම ඒ රජු කළ ක්‍රියාවලින්. ඒ සඳහා ඉදිරිපත් කළ හැකි තවත් සාධක තිබෙනවා: ඇස් හමුවේ නැති අයගේ ගුණ ගති ස්වභාවයන් කර ඇති ක්‍රියාවන් දැන ගන්නට හැකියි. එය අනුමානයක් වෙන්ටත් පිළිවන්. නො දක්නා ව්‍යාපාරවල ස්වභාවය දැන ගත හැක්කේ පැතිරී ඇති ශාඛා සහ ජනතාවගේ කතාබස්වලින්.”