රාජ සභාවේ සාකච්ඡා අරඹමින් සක්වාලිහිණියා මෙසේ ප්‍රකාශ කළේය:
“ගරු මහා අමාත්‍යතුමනි, කළයුතු–වියයුතු සියල්ලෙහි ම බර පැටවෙන්නේ
ඔබතුමන් මතයි. මේ රටත් ඔබ තුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වනු ඇති.”
රාජ හංස එහි දී මෙසේ පැවසීය:
“ඔව්! ඔව්!! ඒක හරි එහෙම තමා වෙන්ට ඕනෑ!”
නමුත් දූරදර්ශී සිය මතය මෙසේ ඉදිරිපත් කළේය:
“ඔව් නේ, එහෙම තමා, එහෙත් දැන් නානාප්‍රකාර ස්තුති ගීතිකා කියලා
වැඩක් නෑ. ඒ මෙන්න මේ හේතු උදාහරණ නීතියේ රැඳිලා තියෙන නිසා:
එක එක්කෙනා තමන්ට අවනත කර ගැනීමට යෙදිය යුතු උපාය මාර්ග විවිධයි. ඒ
අනුව, ලෝභ තැනැත්තා අවනත කරගත යුත්තේ ධනය පිළිබඳව ආශා තණ්හා වැඩි වෙන ආකාරයේ ක්‍රම
විධි යෙදීමෙන්. දැඩි සිත් ඇත්තා මෙල්ල කරගත හැක්කේ ගෞරව පුරස්සර ලෙස ඉදිරියේ
හැසිරීමෙන්. මෝඩයා අවනත කර ගත යුත්තේ ඔහුගේ මනාපයට ඉඩ දීමෙන්. නුවණැත්තාට ඇත්ත ඇති
සැටියෙන් පෙන්වා දී අවනත කර ගත හැකියි. සුහද ගුණවත් බවෙන් මිතුරාත්, සද්භාවයෙන්
නෑදෑයනුත්, ආදරයෙන් ස්ත්‍රිය මෙන් ම සේවකයාත් දීමෙන් මෙන් ම ගරු නම්බු ප්‍රදානයෙනුත්,
සෙස්සන් ඔවුන්ගේ මනාපයට අනුකූලතා දැක්වීමෙනුත් තමන් හා සම්බන්ධ කර ගත යුතුයි.
ඔන්න ඔය හේතු ප්‍රත්‍ය ගැන සලකා සන්ධාන ගත වෙමු. චිත්‍රවර්ණ
රජතුමා මහා තේජස් ඇත්තෙක්. ඊට අනුගතව කටයුතු කිරීමයි අපේ යුතුකම.”
“මේකයි, මේ සන්ධානය ගොඩ නැංවිය යුත්තේ පස්සෙන් පහු ආරානෝරු ඇති නො වන
අයුරින්. ඒ ගැනත් යමක් පැවසූහොත් තමා වඩා වටින්නේ.” සක්වාලිහිණි ඇමතිවරයා
කියා සිටියේය.
“මේ සන්ධාන කාර්යයන් සඳහා නියමිත නීතිමය සිද්ධාන්ත කොපමණක් තියෙනවා
දැ?”යි හංස රාජ කරුණු පැහැදිලි කර ගන්නා අටියෙන් ඇසුවේය.
“අප්පේ එමට! මං කියන්නං සියල්ලක් ම – අහගන්ඩ හොඳයි!” කී ගිජුලිහිණියා ඒවා මෙසේ ගෙන හැර දැක්වූයේය: