බලවතෙකු විසින් වට කොට මැඩ පවත්වා ගත් වෙනත් උපායක් පිළියමක් හෝ
කරකියාගත හැකි දෙයක් නැති විපතට පත් රජෙකුට ඇති එක ම බේරීම නම් සාම සන්ධානයකට යාම
පමණයි. එම සාම සන්ධානය සොළොස් ආකාරයකින් කළ හැකියි. ඒවා නම්: කපාලය, උපහාරය,
සන්තානය, සංගතය, උපන්‍යාසය, ප්‍රතීකාරය, සංයෝගය,
පුරුෂාන්තරය, අදෘෂ්ටාන්තරය, ආත්මාදිෂ්ටය, උපග්‍රහය, පරික්‍රය,
උච්ඡින්නය, පරභූෂණය, ස්කන්ධෝපනය ලෙසයි නීති සංග්‍රහවල දක්වා
ඇත්තේ.
තව දුරටත් මෙම සන්ධි න්‍යාය ගැන කුශාග්‍ර බුද්ධිමතුන් විසින් අදහස්
දක්වා ඇත්තේ මෙන්න මෙහෙමයි:
සමාන බලවන්තයන් දෙදෙනෙකු අතර ඇතිවෙන සමගි සන්ධානයට කියන්නේ කපාල
සන්ධි විදිය කියලයි. තෑගිබෝග දීමෙන් සමගියක් ඇති කර ගනු ලැබේ නම් එය උපහාර සන්ධිය
ලෙස සැලකේ.
රූබර ස්ත්‍රියක් ලබා දී ඇති කරගන්නා සමගි සන්ධානය සන්තාන සන්ධි
විදිහයි. මිත්‍රත්වය
තුළින් ඇති කරගන්නා සමගිය සංගත සන්ධියයි. ඔයා ආකාරයෙන් දිවි ඇති තෙක්
විරසකයක් නැතිව කාඤ්චන සන්ධියෙනුත්, තමන්ගේ අවශ්‍යතාවය උදෙසා උපන්‍යාසයෙනුත්,
උදව් උපකාර ගැන සිතා ප්‍රතිකාරයෙනුත්, ගැළපීම් ගැන සිතා සංයෝගයෙනුත්,
සෙබල සේනා හුවමාරුවට පුරුෂාන්තරයෙනුත්, මගේ මේ දේවල් කර දිය යුතු යැයි කියා
එක්වීම අදෘෂ්ට පුරුෂයෙනුත් සමගි සන්ධාන ඇති කරනු ලැබේ. මීට අමතරව ආධිෂ්ට
සන්ධියෙන් රටෙන් එක් කොටසක් දීමේ පොරොන්දුවත්, බල සේනා සමඟ සහසම්බන්ධතාවයෙන් ආත්මාදිෂ්ටියත්,
පණ නළ රැකගන්නට සීමා වූ උපග්‍රහයත්, භාණ්ඩාගාරය දී ඇති කරගන්නා පරික්‍රයත්,
සරුසාර බිම් බිඳීමෙන් උච්ඡින්නයත්, සියලු අස්වැන්න දී පරභූෂණයත්,
වරකට මෙපමණ දිය යුතුයැයි කියා සීමා ඇති කර ගන්නා ස්කන්ධෝපනය ලෙසත් රාජ්‍ය
පරිපාලන විශේෂඥයන් විසින් හඳුන්වා දී ඇත.
පරස්පරෝපකාරය, මෛත්‍රී
සංගතය, සම්බන්ධය හා උපකාරය යන සන්ධි හතර අන් සියල්ලට ම වඩා
උතුම් වේ. එයිනුත් උපහාර සන්ධි ක්‍රමය මා මනාපයි. හේතුව අන් සියලු සන්ධි ක්‍රම
මිතුරු කමෙන් තොර ඒවා වන බැවිනි. සතුරා බලවත් නම් උපහාරයකින් තොරව ඔහු මෙල්ල කර
ගැනීමට දුෂ්කර කටයුත්තක්. එයින් උපහාර සන්ධිය ම ඉටු කර ගැනීම අනුමත කරමි.”
“ඉතින් ඔබ සියලු දෙනා ම උගත් පණ්ඩිත බහුශෘත අය නේ. ඒ නිසා මා කළ
යුත්තේ කුමක්දැයි කියා සියලු උපදෙස් දෙන්නැ”යි රජු ඉල්ලා සිටියේය.
“අපොයි අපොයි එහෙම වදාරන්නේ ඇයි?” කී ඇමතිවරයා සමාජමය නීති උපදේශක
මෙසේ ඉදිරිපත් කළේය:
මානසික හෝ කායික ව ලැබෙන පීඩා නිසා සිත් තැවුලට පත්, එමෙන් ම අද හෝ හෙට මරණයට පත්විය හැකි කවරෙකු නම් ධර්මයට පටහැනිව හැසිරෙනවා ද? සත්ව ජීවිතය වතුරේ නළියන සඳමඬල හා සමානයි. ඒ බව වටහාගෙන සුචරිතයෙහි නියැලීමයි කළ යුත්තේ. රජකම කියන තත්ත්වය සුළඟට හසු වූ වළාකුලක් හා සමානයි. කම් සැප විඳීම මොහොතකට පමණක් ප්‍රීතිය ගෙන දෙන්නක්. පණ තණ ගසක් අග දිලිසෙන පිණි බිඳුවක් වගේ. මෙන්න මේ නිසා පරලොව යන්නාට ධර්මය තමා එක ම පිහිටට සිටින්නේ. සංසාරය හරියට මිරිඟුවක් වගේ. ඒ නිසා දුසිරිත් ඉවත ලා සුසිරිතෙහි හැසිරිය යුතුයි.