හති
නො දමා කාවේරිය අධිවේගයෙන් ඉදිරියට ඇඳෙයි. බැලූ බැලූ අත දිස් වන්නේ වගා බිම්ය. ඒවා
දිගේ ඇදෙන කාවේරියට ඇතැම් විට පැය භාගයක් පමණ කාලයක් ගත වෙන්නේ වගා බිම් පසු
කරන්නටය. අනුරාධපුර - පොළොන්නරු ප්‍රදේශයන්හි අප දකින වෙල්
යායන්ගෙන් උදම් වී සිටි අපට මෙම ධාන්‍ය යායන් දුටු විට සිතුණේ අපේ කුඹුරු ක්‍රීඩාපිටි
ලෙසිනි. එහෙත් කාවේරි අංගනාව මේ දිව යන්නේ උඳු, කඩල, සෝගම්, වැනි වගා බිම් මතිනි. මිනිස් පුලුටක්
දැක ගත හැක්කේ කලාතුරකිනි. ලංකාවේ සැතපුමක් හමාරක් යන විට පාසැල් සිසු සිසුවියන්
කොපමණක් නම් නෙත ගැටේද, කීප වරක්ම මට සිතුණේ ඉන්දියාව වනාහි මිනිසුන්ගෙන්
තොර රටක් වශයෙනි. මේ ගැන කථාබහ කරමින් සිටියදී මා විසින් පිලිගන්වන ලද බුලත්
විටකින් ප්‍රමෝදයට පත් විදුහල්පති තුමා තම පුරාවෘතය කියන්නට පටන් ගති.
“මං ඔය කාලයේ වැඩ කළේ පිරිවෙණක. පිරිවේනාධිපති හාමුදුරුවන් වෙනුවෙන් අධ්‍යාපන
කාර්යාලයට යාම් ඒම් කළේ මං. අද වගේ පිළිකන්නක් ගානේ කොට්ඨාශ කලාප කිය කියා අධ්‍යාපන
කාර්යාල තිබුණේ නෑ. දිස්ත්‍රික්කයකටම හිටියේ
ප්‍රධාන අධ්‍යාපන නිළධරයෙක්. පාඨශාලා පරීක්ෂක තනතුරු මාණ්ඩලික අධ්‍යපන නිළධාරී
වශයෙන් වෙනස් වුණෙත් ඔය කාලයේ. දැන් එක එක විෂයටත් අධ්‍යාපන අධ්‍යක්ෂක වරු. බුරුතු
පිටින් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්ලා. කවුරු මොන තනතුර දැරුවත් ටියුෂන් මාස්ටර්ලා
නැත්නම් අධ්‍යාපනය වැළලිලා මෙලහකටත්.”
“අධ්‍යාපනය පිරිහෙන්නට හේතුව නිල නාමය වෙනස් වීම ද?”