කිසිදු
හතියක් හෝ වැඳෑරීමකින් තොරව කාවේරිය ධාවනය
වෙයි. දිවා කල බැවින් ඉඳ හිට නගරයක් නැත්නම් ගම්මානයක් පසු කරණු පෙනේ. කෙසේ වුවත්
ගමනේ අඩක් පමණ නිමා කර තිබුණත් දක්නට ලැබෙන්නේ කර්කශ බවකි. ඊට හූමිටි තබන්නට මෙන්
දූවිලි කන්දරාවෙන් ඇඟ පත නැහැවෙයි. අධි වේගයෙන් භ්‍රමණය වන පංකා වලින් එම දූවිල්ල
පලවා නො හැරේ.
“දැන් දිවා ආහාරය ගෙනේවී. විනාඩි 10 ක් තුළ
ආහාර ගැනීම අවසන් කරන්න. දුම්රියෙන් පාරට වතුර ඉහගෙන තමයි ඒ කාලය තුළ ගමන් කරන්නෙ.”
නඩේ
ගුරු රෝහණගේ ඒ වදන් පෙළ කණට මී පැණි මෙන් විය. විදුහල්පති තුමාට කතා කළෙමි.
“රජෝ කෑම ගේනවලු. මං ළඟ එකක් තියනවා. සැරි වැරියක් දාමුද?”
“ඒක තිබුණාවෙ රෑට ගන්ට. කොහොම නමුත් හෙට එළිවෙන කල් අපිත් ජීවත් වෙන්න
එපැයි. මං ළඟ බාගයෙන් පිරිමහ ගනිමු. වැඩි වුණොත් නම්බුව බල්ලට යාවි නෙ.” යි කියූ ඔහු ඇඟ පත තෙත් කරගන්නට අවශ්‍ය බව කියමින් ගමන් මල්ලත් කරේ
එල්ලා ගෙන වැසිකිළිය දෙසට ගියේය. මා ද තුවායක් කරට දමා ගනිමින් එම කටයුත්ත උදෙසා ම
ගියේ අප දෙදෙනාගේ කෑම පාර්සල් දෙක ලබා ගන්නා ලෙස අසල සිටි ළඳකට උපදෙස් දෙමිනි.
මුහුණ
කට දොවා ගත් විදුහල්පති තුමා, තොල කට ලොවිමින් වැසිකිළියෙන් පිට විය. “අරක අරගෙන බෝතලය මුල්ලකින් තියලා එනවා” යි ද
විධාන කළේ ය.
විදුහල්පති තුමාගේ ප්‍රඥාභාවය පෙන්නුම් කරණ විශේෂ සිදුවීමක් එහි දී දැක ගන්නට ලැබිණි. ඒ තේ පාණයට දී තිබුණ ප්ලාස්ටික් කෝප්ප දෙකක් මධුපානය වෙනුවෙන් සකසා තිබීමයි. කඩිමුඩියේ ඇඟපත දොවා ගත් මා, නියෝන් විදුලි ආලෝකය මැද සැරසූ මේසයක් වටා හිඳ දහසින් බැඳි පියලි වැයකරමින් කළ යුතු කාරිය දෙනෝ දහක් පාවිච්චි කරන වැසිකිළිය තුළ දී අඩක් නිම කර තිබූ බෝතලයේ ඉතිරි අඩ කිසිවෙකුගේ බාධාවකින් තොරව නිමාකර, එයින් පිටවූයේ රටක් රාජ්‍යක් අත් කර ගත්තෙකුගේ අභිමානයෙනි.