කටට
දිවට හුරු රසයෙන් තොර ඉන්දියානු කෑම වේල ගිල දැමීමට එතරම් ම අපහසුවක් නො වුණේ,
මොහොතකට පෙර පානය කරණු ලැබූ අමාවතුරේ පිහිටෙනි. සියල්ලන්ම ආහාර ගෙන අවසන් කර ඇත.
දුම්රිය සේවකයන් යුහුසුළුව මැදිරි පවිත්‍ර කිරීමෙහි යෙදී සිටිති. ඇතැමෙක් නිදි
කිරා වැටෙති. අයෙක් තම තමන්ගේ ගම් බිම් ගැන කියවති. අප ආසනයේම කොටස් කාරියක වූ කාන්තාව
සමඟ කිසියම් සල්ලාපයක විදුහල්පති තුමා යෙදී සිටී. මා සුපුරුදු පරිදි බුලත් විටක්
සාදා ගන්නට අවශ්‍ය කටයුතු කරමින් සිටියේ මහා භාරත මාතාවගේ යථා ස්වරූපය දෑසට
එල්ල කර ගනිමිනි. එතෙක් මෙතෙක් මනසට ගෝචර දෙයක් දෑසෙහි නො ගැටිණි. ඉන්දියාව
අති විශාල දේශයක් බැවින් එහි දුෂ්කරම ප්‍රදේශය අපේ ගමන් මාර්ගය වනැයි සිතා
සැනසෙන්නට සිදු විය.
අහාරය
සමගින් අන්න පානයෙන් නව ජීව බලයක් ලබාගත් විදුහල්පති විපුලසේන මෙසේ කියන්නට
විය.
“දවස මට මතකයි. එදා නොවැම්බර් අට. උදේම නාලා දෙවියන් බුදුන් වැඳලා
කිරිබත් කෑල්ලක් කාලා ජැණ්ඩියට ගියා අනුරාධපුරේ - ගුරු පත්වීමේ ලිපිය ගන්ට ...”
විදුහල්පති
තුමාගේ මුහුණට එක්වරම පරාක්ෂයකුගේ පෙනුමක් ආරූඪ වෙනු පෙනිණි. ලොඹු කට කිටි කිටියේ
තද විය. දෑසින් ක්‍රෝධයේ ගිනි පුළිඟු
විසිරිණි.
“ඇයි ලිපිකරුවා හිටියේ නැද්ද - පත්වීම දෙන්න බෑ කිවුවා ද?”
“ඒ පරයා හිටියා. බොහොම ලෙන්ගතු කමෙන් මාව පිළිගත්තා. පත්වීම කොහාට ද ඕනෑ
කියල ඇහුවා. පිරිවෙණේ වැඩ කරණ නිසා අල්ලපු වැටේ තියෙන “කලුකඹරුව” විදුහලට පත්වීම දෙන්ට කියල
කීවා. අත් පිටපත් පහක හයක කලුකඹරුව පාසල සඳහන් කරල, ලිපි ගොනුවක් අරන්
නැගිට්ටා E.O ගේ අත්සන ගන්ට. ඒ ගමන්ම ඇහැව්වා ගාස්තුව ගෙනාවද කියලා. මට හදිසියේ
රුපියල් තුන්සීයක් හොයා ගන්න බැරිවුණ බවත් මුල් වැටුප ලත් හැටියේම අඩුපාඩු සකසාගෙන
යුතුකම ඉටුකරණ බවත් කීවා.”
“ඉතින් පත්වීම දුන්නේ නෑ.”
“මොකෝ නැත්තේ දුන්නා. ඒ ගමන්ම ආයෙත් පුටුවේ ඉඳගත් ඌ පාසැලේ නම කරුටු ගා
ඊට උඩින් ලිව්වා “වීරපුර” කියල. අරන් ගියා E.O ළඟට.”
“පුදුම මනුස්සයෙක්නෙ”
“ඔව් මං කන්තෝරුවෙ අනිත් ක්ලාක්ලාට ඇහෙන්ට ම කීවා - මහත්තයෝ මං වීරපුරට යන්නම් - ගෙදර ඉදන් යන්ට හැතැප්ම 17 ක් තියනවා. දිනපතා ම ඒ තරම් දුරක් බයිසිකලේ පදින්ටත් බෑ. ඉස්කෝලෙ නැවතිලා රාජකාරි කරන්ට පුළුවන්. ඒත් උයාගෙන කන්ට ක්‍රමයක් නෑ. ඒ නිසා තමුසෙගෙ ගෑණින් වීරපුරට එවන්ට ඕනෑ. එතකොට ඒකිටයි මටයි කොයිදේත් කරගෙන ඉන්ට පුළුවන් කියල.”