“ඉතිං ලිපිකරුවන් කවුරුත් විරුද්ධව කතා කළේ නැද්ද?”
“නෑ - කන්තෝරුවම මීයට පිම්බා වගේ. පස්සෙ මට ආරංචි වුණා කේසා
පත්වීම් මාරුවීම් වලදි ගජරාමෙට පගා ගන්නා වග. මගෙ සද්දෙ නිසාද කොහෙද මල්සරාත්
පිරිවෙනේ ලියුම් ටික ළඟටම ගෙනැවිත් දුන්නා”
“ඔබතුමා පගා දෙන්ට අකමැතියි?”
“ඔව්, පගා බෑ. නමුත් මනුස්සකමට කරණ සැලකීම්
කරන්නෙ බොහොම කැමැත්තෙන්. නීති විරෝධී කටයුත්තකට නේ පගා දෙන්ට ඕනෑ. අපි කරන්නෙ
සේවයක්. ඒක නො පිරිහෙලා වහාම යමෙකු ඉටු කර දෙනවා නම් බස් වියදම් දරාගෙන කාලය කාගෙන
දවස් හත අටේ කන්තෝරු ගානෙ ලගින්ට වෙනවාට වඩා ඒක ඉටු කරල දෙන එක්කෙනාට කෑම වේලක්
අඩියක් පුඩියක් දුන්නාට කමක් නෑ. ඒක පගාවක් කියල අර්ථ දක්වන්න බෑ. සමහර අය ඉන්නවා
තමන්ගෙ නැති බැරි කම් කියලා - එහෙම නැත්තම් කිසියම් හදිසියකට අකරතැබ්බකට මිළ මුදල්
ඉල්ලන. තිබුණොත් දෙනවා. සමහර විට ලොකු මුදලක් නම් ආපහු දෙනවා. කොහොම නමුත් සෑම
වෘත්තිකයෙකුම එක සමානයි. සමාන ප්‍රශ්න - අවශ්‍යතා. ඒත් සමහරුන් ඒක සලකන්නෑනෙ. කොයි
දේ වෙන්නෙත් මනුස්සයටනේ කියල හිත හදා ගෙන පසුවදා උදැහැනැක්කෙ දාඩිය පෙරාගෙන පා
පැදියෙන් ගොස් වීරපුර විදුහලේ වැඩ
බාර ගත්තා. එය කණිෂ්ඨ ද්විතීක විද්‍යාලයක්. ද්විතීක අංශයේ විදුහල්පති කම් කළේ
භික්ෂුවක්. කණිෂ්ඨ අංශය රත්නප්‍රේම නම් විදුහල් පති වරයෙක්. දෙන්නට දෙන්නා
නයි පොළගුන් වගේ. අංශ දෙකේ ගුරුවරුනුත් දෙපැත්ත බෙදිලා. මාගේ පත්වීම කණිෂ්ඨයට.
ඉන්වෙන්ට්‍රි
ගත භාණ්ඩවල අයිතිය, භික්ෂුවගේ වග කීමට යටත් ද්විතීක ගුරුමණ්ඩලය රැස්කර තීන්දු තීරණ
ගන්නවා. ඒවා ක්‍රියාත්මක කරන්නට කණිෂ්ඨ ගරුවරුන් හා සිසුන්ගේ සහාය ඉල්ලනවා. ඒවා ප්‍රතික්ෂේප
කිරීමත් නො සලකා හැරීමත් එක අවුලක්. ලොග් පොත් දෙකයි. වැටුප් ලේඛන දෙකයි. මාගේ
පත්වීමේ ලිපිය අනුව යටත් පිරිසෙන් සතියකට පැය දෙකක්වත් ද්විතීයීක ශ්‍රේණිවල
ඉගැන්විය යුතුයි. නැත්නම් වැටුප ද නවත්වන බව පත්වීම් බලධරයා අවධාරණය කර තිබුණා.
කාලසටහනක්
දීම සදහා පත්වීම් ලිපිය පෙන්වා ද්විතීයික විදුහල්පතිගෙන් නියමිත කාලච්ඡේද ප්‍රමාණය
ලබා ගන්නා ලෙස කණිෂ්ඨයා කීවා. උපදෙස් පරිදි ද්විතීයික වි.ප. ට කාරණයක් කියා
සිටීමේදී දැම්මේ මහා ගෝරණාඩුවක්. ගුරුවර ගුරුවරියන් හත් අට දෙනෙක්ම කාර්යාලයෙහි
සිටියා.”
“මහත්තයාට පත්වීම තියෙන්නෙ කණිෂ්ඨ අංශයට. ඕනෑ මඟුලක් එහෙ කර ගන්නවා. මට
වද නොදී”
“මං ශික්ෂුවක් නිසයි ඉවසන්නේ, මඟුල් කරන්ට ඕනෑ
නම් මං ඉස්කෝලෙට එන්නේ නෑ. එහෙම එකකට යන්නේ තමුසෙගෙ ගෙදරට”