“මං හාමුදුරුනමක්. එහෙනම් මට ‘තමුසේ’ කියන්නේ මහත්තයා දන්නේ නැද්ද කතා
කරණ හැටියවත්? මං සංඝයා වහන්සේ කෙනෙක්!”
“මං වහන්සේලාත් දන්නවා -වහන්දෑලත් දන්නවා. ඊටත් වඩා මෝගෙ වාහෙලත්
දන්නවා. ‘ආයුස්මන්තෝ’ කියන එක තමා “ආවුසෝ” ‘තමුන්නාන්සේ’ කියන එක තමා “තමුසෙ”; ඕනෑ නම්, සිංහල දන්නේ නැත්නම් මං උගන්වන්නම්”
පපුව
අල්ලාගත් ද්විතීක විදුහල්පති දෙකට නැවී ගරු නිවාසයට ගියා.
“අර මනුස්සයා මැරෙයිද දන්නේ නෑ. ඇදුමයි පපුවේ අමාරුවයි දෙකම” දිනක් ගැමියෙකු විදුහල්පතිතුමාගේ සෞඛ්‍ය තත්වය ගැන සඳහන් කළා.
“එකක් හාමුදුරු නමක්. අනික විදුහල්පති. අද වැඩ භාරගත් කෙනෙකු ඔය විදියට
කතා කිරීම ගැලපෙන් නෑ.” ඒ තලතුනා වයසේ ගරුවරියකගේ අදහසයි.
“හරි වැරැද්දක් නම් මං දන්නෙ නෑ. සිද්ධියෙ හැටියට ඔහොම කතා නොකර බෑ”
එක් ගුරුවරියකගේ අදහසයි.
“විපුලසේන මහත්තයා හරි. එයා කළේ රාජකාරී
අවශ්‍යතාවයකට උපදෙස් ඉල්ලීමක්. ඒකට කළ යුත්ත නොකළ යුත්ත ගැන කතා කරණව මිසක්, ඒ
මනුස්සයගේ ඇඟට ගොඩ වෙලා හරියනවැ.” ඒ කණිෂ්ඨ අංශයේ
විදුහල්පති රත්නප්‍රේම මහතාගේ මතය විය.
“කන්තෝරුවෙන් ඇවිත් පරීක්ෂණයක් කළොත් එහෙම හාමුදුරුවො පැමිණිළි කරලා?”
තවත් ගුරුවරයෙකු ප්‍රශ්නයක් නැගුවා.
“මං ඉල්ලනවා විවෘත පරීක්ෂණයක් මේ පාසල තුළ ම.” මොකද
මට විරුද්ධව සාක්ෂි කවුරුහරි දුන්නොත් ඒ අයගෙන් හරස් ප්‍රශ්න අහන්ටත් මට අයිතිය
තියනවානේ. එදින පාසල අවසන් විය. එතෙක් විදුහල්පති භික්ෂුව පැත්ත පළාතේ ආවේ නැත.
කීප දෙනෙකු ගුරු නිවාසයට යන එන අයුරු දැක ගන්නට ලැබිණ.
“උන් තමයි හාමුදුරුවන්ට පක්කලි සර්විස් කරන්නෙ. මෙතන කතාවුන ඒවා ගිහින්
කණේ තියන්ට ඇති. උඹ බය නැතිව හිටපං. එයාගෙ කැරැට්ටුව සාක්ෂි සහිතව දෙන්නම්.”
ඒ කණිෂ්ඨ විදුහල්පතිගේ උපදේශයයි.
“බොහොම ස්තුතියි ලොකු මහත්තයා. ඒ මං හෘද සාක්ෂියට අනුව වරදක් කරන්නෑ.
හැබැයි මට ආල වට්ටම් දැම්මොත් අතාරින්නෙත් නෑ. ඒකා මොකා උණත් තඹ පයිසෙකට ගණං
ගන්නෙත් නෑ. හැබැයි මනුස්සකමට කක්කුස්සි ගිහින් පස්ස හොදපන් කීවොත් ඒකත් කරණවා.”
අද
ඕනෑම පාදඩයෙකු ඇමතීම සඳහා “සර්” කියන
නයිට් නාමය යොදා ගත්තත් එදා පාසැලේ ප්‍රධානාචාර්ය තුමා හැදින්වූයේ “ලොකු මහත්තයා” යනුවෙනි.
ගිනි
කාෂ්ටක අව්ව, පැදපන්කො හැතැප්ම දාහතක් ආපහු ගෙදර යන්න.
යන්ටම පාර. පැරණිම කොළණියෙ. ගල් ගැලවිලා-වලවල් හෑරිලා. අද වාගෙ එදා ගමන් පහසුකම්
නෑ. බස් නෑ. ගමන එක්කෝ පයින් නැත්තම් ලොකුම වාහනය බයිසිකලය. කේසාගේ හා
භික්ෂුවගේ වැදූ මවුවරුන් සිහි කරමින් ගෙදරට එන විට සවස හතරටත් ආසන්නයි.
කැලතී
ගිනියම් වී තිබුණ වැවේ මඩ වතුර සිත්සේ නා ගත්තා. එයින් ඇඟට ලැබුනේ අමුතුම ජීවියක්.
ගෙට
ගොඩවූ විගස බිරිද තේ ජොග්ගුව දිගු කලා.
“ඇයි කන්ට මොකුත් නැද්ද?”
“දවල් කෑමට එයි කියල මං හිතුවෙ නෑ ...”
“ඇයි උඹ හිතුවෙ මං බින්න බහින්න ගියා කියලද?” අසමින්
බිරිඳගේ අතින් ගත් තේ ජෝග්ගුව ඇති වීරියෙන් පොළොවේ ගැහුවා වීදුරු කෑලි ගේ පුරා
විසිරුණා.