වාරාණාසියේ
සුඛෝපභෝගී හෝටලයකට වන්දනා කරුවෝ සේන්දු වූහ. ඇඳන් එහා මෙහා කර කාමරයක හතර පස්
දෙනෙකට නවාතැන් පහසුකම් සැළසිණි. මෙලෝ රහක් නැත. ලුණු ඇඹුල් හා මිරිස් සැරවත් රහක්
නැත. ලුණු ඇඹුල් හා මිරිස් සැරවත් තිබුණේ නම් කෙතරම් අගනේ දැයි සිතිණ.
“මං ගෙදර ගිය සැටියේ කරන්නෙ ගෙදර එකීගෙ හතර හන්දි කඩන එක.” විපුලසේන කෑ මොර දුන්නේය.
“අර මක්කට ද ඒ අක්කගෙ හතර හන්දි කඩන්නෙ?” ඒ මිලිනාය.
“ඇයි යෝදියෙ ඒ ගෑනිත් ගිය අවුරුද්දෙ දඹදිව ආවානෙ මේ ගොල්ලොත් එක්කම. කෑම
කොහොමද කියල ඇහුවම කීවෙ හරි හොදයි කියල.”
“ඉතිං මේ කෑම නරකයැ - අපූරුවට තියන්න ”
“අපූරුයි අපූරුයි, රහදිව නැති පට්ට ගෑනුන්ට”
“කෑම නරකයි කීවා නම් මොකද කරන්නෙ?”
“කොරඤ්ඤෙ? හදාගන්නවා
අච්චාරුවක්, ලුණු දෙහි බෝතලයක්, කරවල
හාල්මැස්සන් පහේ දාල බැදුමක්, කොට්ට පොල් සම්බෝලයක්,
ඇට පකිරිඤ්ඤං මාලුවක් ...”
“අද මයි ඒ මාලුව ගැන ඇහුවෙ. කොහොමද ඒක හදන්නෙ?”
මිලිනා ඇවටිලි කරයි.
“ඒක හදන හැටි කියලා දෙන්නම් දෙකක් දාගෙන ඇවිල්ලා” යි කියු විපුලෙ මාත් ඇදගෙන බාර් එකක් සොයා මහ මගට පිළිපන්නේය.
දෙපස
නිස්කලංකය. වෛවාරන්න අරුමෝසම් ගොඩනැගිලිය. තැනක සිද්ධාර්ථ රෙස්ටූරනයකි. පසෙක
මහාමායා කබානාවකි. අල්ලපු වැටේ යසෝදරාය. බෞද්ධ සාහිත්‍යයේ එන පූජනීය චරිත තැබෑරුමට
ගනිකා මඩමට ආදේශ කර ඇති අයුරු දක්නා ලැබෙයි. දෙනෝ දාහක් සැදැහැවත්තු බුදුන් උපන්
දේශයට යති එති. ගොස් පෙරළි පෙරළී වදිති පුදති. “මුස්තාපා
මං මුස්තාපා” යන සින්දුවට ද මුසල්මානයන් විරෝධය පෑ
වගක් මතකයේ රැදී ඇත. එහෙත් සුවාසූ දහසක් ධර්මස්කන්ධය අවිච්ජින්නව පණ සේ ආරක්ෂා
කරගන එන්නෙම අපිම වම්හයි පාරම් බාන්නෝ මහාමයාගේත් යසෝදරාගෙත් ඇඳිවත් ප්‍රද්ධියේ
උණා දමන දෙස ගිජුලෙස බලා වදාරති. දේශපාලක පාදඩයෙකුගේ අතේ පිරිත් නූලක් ගැට ගසා
ඔහුට පදම නො වරදවා සප්පායම් වූ අපි හොටලයේ පොකණ වටා රැදුන බැම්ම මත වාඩි වීමු. මිලිනාවන් ද හොර බැළළියක සේ පැමිණ
ඉදිරිපස ගල් පෝරුවක වාඩි වූවාය. ඇය ඇඳ සිටි ඇඳුම තලතුනා වියට ආසන්න කතකට නොගැළපේය
යනු මගේ පිළිගැනීමයි. එහෙත් විපුලෙට එහි කිසිදු ගනිච්චියක් නැත.